මහමග නතර කර ඇති යතුරුපැදි සොරකම් කර ඒවා කැබලි කර අලෙවි කර ලබාගත් මුදලින් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කළ හිපොප් ගායකයකු අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පසුගිය දා සමත් විය.

අත්අඩංගුවට පත් සැකකරු

අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි හිපොප් සංගීතය වෘත්තිය කරගත් තරුණයෙකි. මෙම සැකකාර තරුණයා මද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින අතර තවත් මිතුරකු සමග එක්ව මෙලෙස යතුරුපැදි සොරකම් කර ඇති බවත් කියැවේ.

මෙම සැකකරු හෝමාගම පාදුක්ක ප්‍රදේශයන්හි තිබූ වටිනා යතුරුපැදි දෙකක් සොරකම් කර එහි කොටස් ගලවා ඉතිරි කොටස් නවගමුව පොලිස් බලප්‍රදේශයේ අත්හැර දමා තිබියදී හමු වූ බව පොලීසිය පවසයි. සොරකම් කළ එක් යතුරුපැදියක කොටස් අතුරුගිරියේ පුද්ගලයකුට අලෙවිකර ඇති බවත් මීට අමතරව රුපියල් පහළොස්දහසක් පමණ වටිනා හිස් වැසුමක් සොරකම් කර සන්තකයේ තබා සිටියදී හමුවු බවත් පොලීසිය කියයි.

මෙම සැකකරු මීට පෙරද හෝමාගම ප්‍රදේශයේ ගංජා උරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වී නිදහස් වී පැමිණ මෙලෙස සොරකම් කර ඇති බව ද අනාවරණය වී තිබේ. මිරිහාන විශේෂ  අපරාධ මෙහෙයුම් ඒකකය මේ සම්බන්ධව මෙහෙයුම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.