Kandy Issue 2.30 pm updates
  • මහනුවර පාසල් දින නියමයක් නැතිවම වැසේ
  • ගැටුම ඇවිළුවන් හදුනාගත්තා - ඇමති රාජිත
  • අසත්‍ය ප්‍රචාර වළක්වන්නට Facebook ජාලය රජය බිද දමයි -Monitor කරයි
  • ජගත් සංවිධානයේ ජෙෆ්රි ෆෙල්ට්මන් හදිසි සංචාරයක් සඳහා දිවයිනට

ඊයේ සහ අද පමණක් වසා දමන බවට තීරණය වූ මහනුවර පාසල් තවදුරටත් විවෘතකර පවත්වායාම ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් මතුකරන නිසා
නැවත දැනුම් දෙනතුරු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ  සියලුම රජයේ පාසල් වසා තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා තිබේ.

ගැටුම ඇවිළුවන් හදුනාගත්තා - ඇමති රාජිත

මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ඇතිව තිබෙන
නොසන්සුන්කාරී තත්ත්වය පසුපස සිටින පුද්ගලයින්ගේ නම් මේ වන විට හෙළිදරව් වෙමින් සිටින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඔහුගේ ලේකම්වරයෙක්, පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, පක්ෂයට සම්බන්ධ දිස්ත්‍රික් සංවිධායකවවරයෙක්ගේ නම් හෙළි වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන්

මෙම තොරතුරු හෙළිදරව් වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම ජාතිවාදී ලෙස සමාජ මාධ්‍ය හසුරවන පුද්ගලයින් ගැන තොරතුරුද මේ වන විට හෙළිදරව් වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අසත්‍ය ප්‍රචාර වළක්වන්නට Facebook ජාලය රජය බිද දමයි -Monitor කරයි

මුහුණු පොත ඇතුළු අන්තර්ජාලයේ සියලූ සමාජ ජාල පරික්ෂාවට  ලක්කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම පියවර ගෙන ඇත. අද (07) සිට මෙම සමාජ ජාල නිරික්ෂණය කරන බව විදුලි සංදේශ නියාමන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් මත මෙම නිරික්ෂණය  සිදුකරන බවත් ඒ සඳහා කොමිසමේ  ඉංජිනේරුවන් විසින් විධිමත් වැඩ පිළිවෙලක් අනුගමනය කරන බවත්  එම නිලධාරියා පැවැසීය.
ජාතිවාදය අවුස්සන හෝ භේද ඇති කරන අන්දමේ පළකිරීම් වාරණයට ලක්කරන බව පැවසූ එම නිලධාරියා පවතින තත්ත්වය යටතේ මෙම සමාජජාල තරමක් සෙමින් ක‍්‍රියාත්මක වනු ඇතැයි ද සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම මන්දගාමි තත්ත්වය  අද දවස තුළ පමණක් පවතිනු ඇති බවත් හැකි ඉක්මණින් එය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.



ජගත් සංවිධානයේ ජෙෆ්රි ෆෙල්ට්මන් හදිසි සංචාරයක් සඳහා දිවයිනට

ජගත් සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් විශේෂ සංචාරයක් සඳහා අනිද්දා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
මෙම සංචාරයේදී ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලනඥයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින් ද මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බවයි ජගත් සංවිධානය සඳහන් කළේ.
රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබුණ ද, දේශපාලන කටයුතු පිළිබඳ මහලේකම්වරයා මෙම සංචාරය සිදුකරන බව ජගත් සංවිධාන මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆන් ඩුජාරික් ඊයේ (06) පැවති දෛනික මාධ්‍ය හමුවේදී කියා සිටියා.
ඒ අනුව අනිද්දා දිවයිනට පැමිණෙන ජගත් සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් ලබන 11 වනදා දක්වා මෙරට රැදී සිටියි.


කන්ද උඩරට නිල් මහා සටන කල් යයි

වාර්ෂිකව පැවැත්වෙන ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර 09 වැනිදා ඇරඹීමට නියමිතව මහා ක්‍රිකට් තරගය මහනුවර දිස්ත්‍රික්කයේ වර්තමානයේ පවතින කලබලකාරී තත්ත්වය හේතුවෙන් අත්හිටුවීමට තීරණය කර ඇත. එය නැවත පැවැත්වෙන දිනයක් තවමත් දැණුම් දී නොමැත.