ෆේස් බුක් බ්ලොක් කිරීම නිසා ආරක්ෂාව තර වුණා - පොලිස්පති
කිසිම සෙතක් නෑ - නාමල්
කටකතා පැතිරුණා - මහින්ද

මහනුවර ඇතිවූ අර්බුදයට සමගාමීව පාලන අවශ්‍යතා මත ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් ඇතුළු සමාජ ජාල මාධ්‍ය කිහිපයක් අත්හිටුවීමට රජය ගත් පියවර මඟින් මහනුවර හා අනෙකුත් ප්‍රදේශවල ඇති වූ ජාතිවාදී ගැටුම් පාලනය කිරීමට විශාල පිටිවහලක් ලැබුණු බව පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රකාශ කර තිබේ.
 අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පෙරවරුවේ පැවැති ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙම කාරණය වාර්තා කරේ එම තහනම පනවා පැය 24 ක පමණ කාලයේ ප්‍රගතිය විස්තර කරමිනි.
 මහනුවර සිද්ධි වැනි අර්බුධකාරී අවස්ථාවලදී ෆේස්බුක් සමාජ ජාලා පාලනය කළ යුතු ආකාරය මෙන්ම ඉදිරියේදී
මෙවන් අසත්‍ය ප්‍රචාර ගෙනයන

වාහකයන් ලෙස ඊමේල් පණිවිඩ, ෆේස් බුක් පිටු හා ඇතැම් වෙබ් අඩවි යොදාගන්නා අය පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බවත් ඒ පිළිබඳ ජර්මනිය සහ පිලිපීනය සතු තාක්ෂණ දැනුම ප්‍රයෝජනයට ගත හැකි බවත් සාකච්ඡාවේදී ආරක්ෂක ප්‍රධානීන් අගමැතිවරයාට දැනුම් දී ඇත.

මහනුවර අර්බුදය ඇති කිරීමට මුල්වූ අමිත් හා සුරේද යන දෙදෙනාම අර්බුදකාරී මතවාදයට සමාජ මාධ්‍ය තුළ විශාල භූමිකාවන් රඟදැක්වූ අයවලුන් වීමත් ‘මහසෝන් බලකාය‘ ‘සිංහලේ‘ ආදී නම් වලින් ඔවුන් ගෙනගිය ෆේස්බුක් පිටු කාලයක් තිස්සේ එම මත සමාජ ගත කරමින් කල්ලි බිහිකිරීමත් සැලකිල්ලට ගෙන සමාජ මාධ්‍ය නිරීක්ෂණය ඉදිරියේදී දිගටම ක්‍රියාත්මක කළ යුතු බවත් ජාතීන් අතර අසමගිය පතුරාලන පණිවිඩ සම්බන්ධයෙන් ඒ ඒ අවස්ථාවලදීම ක්‍රියාමාර්ග ගන්නට අවශ්‍ය බවට බුද්ධි අංශ වෙත දැනුම් දී ඇතැයි වාර්තා පළව තිබේ.

කෙසේ වෙතත් මෙම සමාජ මාධ්‍ය අවහිරතාව ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ
කිසිදු ඵලදායිතාවක් අත් නොවන තහනමක් බවයි. තහනම මඟහැර අදාළ වෙබ් අඩවිවලට ප්‍රවේශ වීමේ විකල්ප ක්‍රමවේද අන්තර්ජාලය තුළ පවතින බවත් 2015 වසරේ ඉන්දියාවේ ද මෙවැනි පියවරක් තිබී ප්‍රායෝගිකව වාසියක් අත් නොවූ බවයි.
මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා මේ ගැන අදහස් පළකරමින් කියා සිටියේ ‘මේකෙන් වුනේ කටකතා පැතිරෙන එක වැඩිවුණ එක. ඕව තිබුනම ඇතිවන ආරංචිය හරි එකක් ඒත් කටකතා වලින් හත් ගුණයක් වෙලා තමා පැතිරෙන්නේ‘ යනුවෙනි.

සමාජ මාධ්‍ය පාලනය තාවකාලික පියවරක් වනු ඇති අතර දැනටමත් මහනුවර සන්සුන් වීම තුළ එය ඉක්මණින්ම යථා තත්වයට පත් කරනු ඇතැයි වාර්තා පළවේ.