නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම මාරු කරන්නැයි ඉල්ලා මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා ගම්පොල-නාවලපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් නාවලපිටිය පොලිසිය ඉදිරිපිට මාරිගයේ සුදු ඉර මත නිදාගෙන පෙරේදා (10) විරෝධතාවක නිරත විය.
පැදුරක් සහ කොට්ටයක් එලාගෙන ආනන්ද අලුත්ගමගේ මහතා පෙරේදා (10) අලුයම 5.30ට ආරම්භ කළ මෙම විරෝධතාව එදින පස්වරු 2.10 වනතුරු පැවැත්වීය. බස් රථ ඇතුළු වාහන විශාල සංඛ්‍යාවක් ධාවනය
වන මෙම මාරිගයේ මන්ත්‍රීවරයා නිදාගෙන සිටීමෙන් අනතුරක් සිදුවීම වැළැක්වීම සඳහා පොලිසිය ඒ ස්ථානයට ආරක්ෂාව යෙදු අතර, පසුව එම මාර්ගය වසා අතුරු මාර්ගයක් වන බෙලි පාර ඔස්සේ වාහන ධාවනය කරවීමට කටයුතු යොදා තිබිණි. මන්ත්‍රීවරයා පාරේ නිදා සිටියදී එම ස්ථානයට පැමිණි ගම්පොල

කොට්ඨාස බාර පොලිස් අධිකාරි ඩබ්.වී. ගිනිගේ සහ නාවලපිටිය බාර සහකාර පොලිස් අධිකාරී චන්ද්‍රසේන බණ්ඩාර යන මහත්වරුන් මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කළ ද ඔහු කියා සිටියේ, තමාගේ ඉල්ලීම ඉටු වනතුරු තමා මෙම ස්ථානයෙන් ඉවත් නොවන බවය.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ තත්වය පිළිබඳව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යචරයා සමග එම ප්‍රදේශයට පැමිණ සිටි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අලුත්ගමගේ මහතාට දුරකතන ඇමතුමක් දී මාර්ගයෙන් ඉවත් චන ලෙස ඉල්ලා සිටිය ද එයට ද අවනත නොවූ මන්ත්‍රීවරයා කියා සිටියේ. මන්ත්‍රීවරුන්ට කාලකන්නි වී මහ පාරේ බුදියාගන්න සිදුවුණේ ආණ්ඩුවක් නොමැති නිසා බවය.
මේ පිළිබඳව පරික්ෂණයක් කරනතුරු තමාගේ වචනය විශ්වය කොට පාරන් ඉවත් වන ලෙස අමාත්‍ය මද්දුම බණ්ඩාර මහතා ඉල්ලා සිටියද මේ රටේ නීතියක් නොමැති බවද තමාගේ ඉල්ලීම ඉටු වනතුරු ඉවත්ව නොයන බව ද මන්ත්‍රීවරයා තරයේම කියා සිටියේය.
කෙසේවෙතත් දහවල් වනවිට වර්ෂාවක් ද ආරම්භ වූ අතර. ඒ අවස්ථාවේදී මන්ත්‍රීවරයා වැස්සෙන් බේරාගැනීමට වෙළඳ ආයතනයක නමක් සහිත විශාල කුඩයක් මහ පාර මැද අටවා තැබීමට පාක්ෂිකයෝ කටයුතු කළහ.මේ සිද්ධිය පිළිබඳව පොලිසිය කියා සිටියේ, කලින් දිනයේ රාත්‍රී 11.30ට පමණ මන්ත්‍රීවරයා ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් පොලිසියට පැමිණි බවත්, ඉන්ධනහල් වසා ඇති නිසා එය ඉටු කිරීමට නොහැකිවුව ද මහජන නියෝජිතයකු හෙයින් ඉන්ධන සොයාදීමට කටයුතු කරමින් සිටියදී එය පමාවීම පිළිබඳව උරණ වූ මන්ත්‍රීවරයා පොලිසියට බැණ වදිමින් පිටවී ගොස් පසු දින අලුයම මෙසේ පැමිණ මහ පාරේ නිදාගත් බවත්ය.
කෙසේ වෙතත් පෙරේදා පස්වරු 1.30ට පමණ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම්. මුතාලිෆ් මහතා මේ ස්ථානයට පැමිණ මිට මැදිහත් වී මන්ත්‍රීවරයා සහ පොලිසිය සමඟ සාකච්ඡා කළ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් මන්ත්‍රීවරයා පස්වරු 2.10ට පමණ විරෝධතාව අවසන් කළේය. මේ පිළිබඳව නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ආනන්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ, මන්ත්‍රීවරයාගෙන් පැමිණිල්ලක් ලැබී නැති බවත්, පැමිණිල්ලක් ලැබුණු පසු ඒ පිළිබඳව ඉහළ නිලධාරින් අවශ්‍ය පරිදි කටයුතු කරනු ඇති බවත්ය.