කුරුණෑගල, තෙලියගොන්න ප්‍රදේශයේදී ටිපර් රථයකට යටවීමෙන් 54 හැවිරිදි කාන්තාවක් සහ අවුරුදු දෙකහමාරක කුඩා දරුවකු පෙරේදා (20දා) මියගිය බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය කියයි. මියගිය දෙදෙනා ඥාතීත්වයෙන් ආච්චි සහ මුනුපුරා බව හෙළිව තිබේ.

දරුවාගේ සීයා පදවන ලද යතුරුපැදියක ගමන් කරමින් සිටි මේ දෙදෙනා ටිපර් රථයේ ගැටී සිදුවූ අනතුරෙන් මරණයට පත්ව ඇත. යතුරුපැදියේ. හැඬලය ටිපර් රථයේ ඇමිණීම නිසා යතුරුපැදිය පෙරළී ඇති බවත්, එහිදී කුඩා දරුවා සහ කාන්තාව ටිපර් රථය යටට විසිවී ගොස් ඊට හසුවී ඇති බවත් පොලිසිය කියයි.

අනතුරින් තුවාල පමණක් ලබා දිවි ගලවාගත් දරුවාගේ සීයා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරින් මියගියේ මාවතගම, පරගහදෙණියේ පදිංචි එම්.ආර්.එච්. අහමඩ් නමැති දරුවෙක් සහ එස්.ඒ.එන්. උමිමා නමැති කාන්තාවකි. ටිපර් රථයේ රියැදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුණෑගල මුලස්ථාන පොලිසිය අනතුර පිළිබද වැඩිදුර පරික්‍ෂණ සිදුකරයි.
අනතුරින් පසුව තෙලියගොන්න ප්‍රදේශවාසීන් පිරිසක් ප්‍රකෝපකාරීව හැසිරීම හේත්තුවෙන් තත්වය පාලනයට කිරිම සඳහා එම ස්ථානයට පොලිසිය විසින් ආරක්ෂාව ලබා දී ඇත.
මෘත ශරිර රෝහල වෙත ගෙනයැමට එහි පැමිණි ගිලන් රථයකටද කෝපයට පත් පිරිස් පහරදී ඇති බව වාර්තා වෙයි. අනතුර පිළිබද වාර්තා කිරීම සඳහා එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන්ටද එහි සිටි පිරිසක් බාධා කළ අතර අනතුර ඡායාරූප ගත නොකරන ලෙස දිගින් දිගටම මාධ්‍යවේදීන්ට බලපෑම් කළේය.