නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ඉදිරි සති දෙක තුළ දී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට භාර දෙන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත ‍සේනාරත්න මහතා සඳහන් කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය භාර ගත්තේ සති දෙකක කාලයක් සඳහා පමණක් යැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි. ඔහු මේ අදහස් පළ කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ (28) පැවැති සාකච්ඡාවකදීය. සරත් ෆොන්සේකා මහතා පත්කිරීම සම්බන්ධයෙන්

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අකැමැති වුවත් පහළ ශ්‍රේණියේ නිලධාරීන් කැමති  යැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.

ඩබල් ගේම් ගහන අය මේ තනතුරට සුදුසු නොවන බවත් රණවිරුවන් ගැන කතා කරන අය පිළිගත යුතු බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඇමැති ධුර සදාකාලික නොමැති බව සඳහන් කළ ඇමැතිවරයා පුද්ගලයන් දෙස බලා තීන්දු තීරණ නොගත යුතු බව මෙන්ම දෙපැත්තේ කකුල් තබාගෙන සිටින අය ඉවත් කළ යුතු යැයි ද අවධාරණය කළේය.
කැබිනට් සංශෝධනය සිදු කළේ රජය විවේචනය කරන අමාත්‍යවරුන් මට්ටු කිරීමට යැයි එහි දී සෞඛ්‍ය ඇමැතිවරයා සදහන් කළේය.

ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් අදහස් පළ කරනුයේ තමින් සිතු අමාත්‍යංශ නොලැබීම හේතුවෙන් බව ද මැති ඇමැතිවරුන්ට අවශ්‍ය පරිදි කැබිනට් මණ්ඩලය පත් කිරීමේ හැකියාවක් නොමැති බව ද පැවසුවේය.
පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව රජයට පාඩමක් උගන්වා ඇතත් පළාත් පාලන ආයතන පිහිටුවීමේ දී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව පළාත් පාලන ආයතන පිහිටුවීමෙන් වැඩි බලය හිමිකරගෙන ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.