බ්‍රිගේඩියර් ප්‍රියංක රටින් පිටුවහල් කරන ලෙස
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ හිතවාදී මන්ත්‍රීවරු ඉල්ලති


ලන්ඩනයේ නැවත විරෝධතා


පසුගිය නිදහස් දිනයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයකට දැක්වූ ප්‍රතිචාරය නිසා ඇතිවූ බ්‍රිගේඩියර්වරයාගේ ප්‍රශ්නය ජනපති මැදිහත්වී නතර කළද ඉන්පසු පරීක්ෂණ අවශ්‍ය නැතැයි යුදහමුදාපතිවරයා දැන්වීමෙන් පසු තවම අවසන්වී නැත.
මේ වනවිට කොටි ඩයස්පෝරාවට අයත් යයි සැලකෙන කණ්ඩායම් බ්‍රිගේඩියර්වරයාගේ හැසිරීමට එරෙහිව නැවත
උද්ඝෝෂණ අරඹා තිබෙන අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්‍රවිඩ හිතවාදී මන්ත්‍රීවරුන් වන Ed Davey,Paul Scully ,Joan Ryan හා Siobhan McDonagh බ්‍රිගේඩියර්වරයා එරටින් පිටුවහල් කළ යුතු බවට ඉල්ලා බ්‍රිතාන්‍ය විදේශ ලේකම් වෙත පත්‍රිකාවක්ද යොමු කර තිබේ. ඔවුන් කියා සිටින්නේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කරන

කෙනෙකුගෙන් සාමකාමී උද්ඝෝෂණයකදී මෙවන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන්නට නොහැකි බවයි.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් Boris Johnson ඊට දක්වන පිළිතුරු අනුව මෙය දුරදිග යන ලකුණු පෙනෙන්නට තිබේ. ද්‍රවිඩ හිතවාදී මන්ත්‍රී ඩේවි මාධ්‍යයට පැවසුවේ "සාමකාමී ලෙස විරෝධතා දැක්වූ දෙමළ ජාතිකයන් බිය ගැන්වීම පැහැදිලිවම පෙනෙන්නට තිබුණා. ඔහු එක්සත් රාජධානියේ ආගන්තුකයෙක්.ඔහු මෙහි දී අපගේ රටේ පුරවැසියන්ට ගරු කිරීම අපේක්ෂා කරනවා " ලෙසිනි.

කොටි ඩයස්පෝරාවට අයත් යයි සැලකෙන කණ්ඩායම් බ්‍රිගේඩියර්වරයාට එරෙහිව පාරට බසිද්දී ලන්ඩනයේ සිංහල සංවිධාන නිදහස් දිනයේ මහකොමසාරිස් කාර්යාල ඉදිරිපිට එම කණ්ඩායම්වල අවිනීත හැසිරීමට විරුද්ධව උද්ඝෝෂණ අරඹා ඇත.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් වෙත  බ්‍රිගේඩියර්වරයා එරටින් පිටුවහල් කළ යුතු බවට ඉල්ලා යැවූ ලිපිය