හිසරදයකට සහ උදරාබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට දේවාලයකට ගොස් සිටි රත්තොට මැටිහක්ක ප්‍රදේශයේ දෙදරු මවක් එහිදී දැඩි ලෙස රෝගාතුරව මියගොස් ඇතැයි රත්තොට පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ  රණසිංහ මුදියන්සේලාගේ චාන්දනී සෙනවිරත්න නමැති 33 හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාවගේ සැමියා කළ පැමිණිල්ලක් මත මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි රත්තොට පොලිසිය වාර්තා කරයි.
හපුගස්වත්ත ගම්මානයේ පත්තිනි දේවාලයක් පවත්වාගෙන යන කාන්තාවක මැයට දේව වරමකින් කියා
ප්‍රතිකාර කර ඇත. හිසරදයකට සහ උදරාබාධය සුව කිරීමට කියා දේවාලයේ තබාගෙන මන්තර මතුරා යාතිකා කරමින් යම් පානයක් බීමට දී ප්‍රතිකාර කරමින් සිටියදී චාන්දනි දැඩි ලෙස රෝගාතුර වීමෙන් පසු මාතලේ දිසා මහ රෝහලේ බාහිර රෝගී අංශයට ඇතුළත් කර තිබෙන බව වාර්තා විය.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසු වැඩිදුර පරික්‍ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත සිරුරු කොටස් යොමු කර ඇති අතර මරණයට නිශ්චිත හේතුවක් කවම වාර්තා කර නැත.
දේවාලය බාර කාන්තාවගෙන් සිද්ධියට අදාළව පොලිසිය  ප්‍රශ්න කර තිබේ.

මියගිය කාන්තාවගේ මව වන එච්.පී. සිලවතී මෙසේ පැවසුවාය.
මියගොස් ඉන්නේ මාගේ දියණියක්. ඇයට අවුරුදු දෙක හා අවුරුදු හයක දියණියත් දෙදෙනෙක් ඉන්නවා. දියණියට වැළදී ඇති හිසරදයකට හා උදාරාබාධයකට මහනුවර පෞද්ගලික රෝහලකට ගොස් විශේෂඥ
වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගත්තා. බටහිර වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොමැති බවත් තමාට වැළඳී ඇති රෝගාබාධවලට දේවාලයකට ගොස් ශාන්තිකර්මයක් කළ යුතු බවත් ඇය ඇවිටිලි කළා. ඇය මගේ බෑනා හපුගස්වත්ත ගමේ තියන පත්තිනි මෑණියගේ දේශයකට කැඳවාගෙන ගොස් තිබෙනවා.
මියගිය මාගේ සැමියාගේ භූතාත්මය (මියගිය කාන්තාවගේ පියාගේ) ඇඟට ඇතුළුවි සිටීම නිසා රෝගීවී තිබෙන බව දේවාලය පවත්වාගෙන යන කාන්තාව කිව්වා. මේ සදහා ශාන්තිකර්මයක් කළා. ඒකට රුපියල් 75,000ක් විතර වැය වුණා. ශාන්තිකර්මයට සල්ලි හොයාගත්තේ දියණියගේ කරේ තිබුණු රන් මාලය උකස් කරලා, මේ ශාන්තිකර්මය කරලා ටික දවසකට පස්සේ ආයෙත් දියණියට අසනීප වුණා. නැවත දේවාලයට දියණිය කැඳවාගෙන ගියා. බෑනා අරගෙන ගිය දෙහිගෙඩි දෙකක් කපා ඇඹුල් මිරිකා කෝපයකට දමා වතුර බොන්න දුන්නා. රෑ දේවාලයේ නවත්වා ගත්තා.  දුවට හොඳටම අමාරු වුණා. ඇය බිම වැටී සිටියා. මා දැක්කා බිම වැතිරී සිටි ඇයට කපුකාන්තාව හැන්දකින් වරින් වර මොනවාදෝ පෙව්වා.. හොඳටම අමාරු බව මට පෙනී ගිය නිසා රෝහලකට ගෙන යමු ‍කීවත් ඒකට මුලින් අවසර ලැබුනෙ නෑ.
දියණිය වකුටු වෙලා දරදඩු වෙලා ඉන්නේ අංශ භාග රෝගයෙන් මියගිය දියණියගේ අක්කා කෙනෙක්ගෙ භූතාත්මය වැහිලා යයි ඇය කිවා. ආත්මය ඇගෙන් අයින්කරන්න තවත් ශාන්තිකර්මයක් කරන්න ඕනෑ කියා ඇය පැවසුවා. අංශ භාග රෝගයෙන් මියගිය කෙනෙක් අපේ පවුලේ හිටියේ නැහැ කියා ඇයට මම කිව්වා.
මම දුවගේ පපුවට අත තියා බැලුවා. කිසිම ශබ්දයක් දැනුනේ නැහැ. කකුල් දෙකත් හොඳටම සීතල වෙලා තිබුණේ. ඒ වෙනකොට කපු කාන්තාව හිටියේ නැහැ. මම කෑගැසුවා. අහල පහළ අය ඇවිත් දියණිය රෝහලට අරගෙන ගියා. රෝහලේදී කිව්වා ඇය මියගිය කියා.
දුවට අමාරුයි කියා මුලින්ම කිව්ව වෙලාවේ ඉස්පිරිතාලෙට අරගෙන ගියා නම් ඇයගේ ජීවිතය බේරාගන්න තිබුණා කියා හිතෙනවා යැයිද සීලවතී මහත්මිය පැවසුවාය.