ඊයේ (12දා) පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ගෙන්
මේ මැතිවරණ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂව විකුණා ලබාගත්ත ජයග්‍රහණයක් කියා සමහරු කියනවා. එය පිළිගන්නේ දැයි ඇසූ ප්‍රශ්නයට මන්ත්‍රිවරයා පිළිතුරු දුන්නේ මෙසේය.

'මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනප්‍රිය වෙන්නේ බෙදුම්වාදී බලවේගවලින් රට බේරා ගත්තා. ජාත්‍යන්තර බලවේග ඉදිරියේ ජාතියේ ස්වාධීනත්වය රැක්කා. ලංකා ඉතිහාසයේ වැඩිම යටිතල පහසුකම් සංවර්ධනය කළා. ආර්ථික වර්ධනයට අඩිතාලම දැම්මා.
දුප්පත්කම සියයට හය දක්වා පහතට ගෙනත් ප්‍රශස්තම සුබසාධන රාජ්‍ය බිහි කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා සංකේතවත් කළ ගුණාංග තියෙනවා. ඒ ගුණාංග ඉල්ලීම තමයි මහින්ද රාජපක්ෂ ඉල්ලීමේ මූලිකත්වය. අවුරුදු නවයක් රට පාලනය කරලා සුවිශේෂී ලක්ෂණ ප්‍රදර්ශනය කළ නායකයාටයි මිනිස්සු ආදරය කරන්නේ.


රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් වුණොත් ජනාධිපතිතුමාට ඊළඟ විකල්පය කුමක් විය හැකිද යනුවෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයටද මන්ත්‍රිවරයා මෙසේ කීය.

ජනාධිපතිතුමා එක්ක ආණ්ඩු කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ ඉල්ලීම අගමැතිවරයා වගේම ජනාධිපතිවරයාත් රට ප්‍රතික්ෂේප කරන්න ඕනෑ. ඉවත් වෙනවා නම් දෙදෙනාම ඉවත්ව යා යුතුයි. ජනාධිපතිතුමාට වෙන විකල්ප නැහැ. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතියි, අගමැතියි එකට තියලා රටේ ජනතාව ප්‍රතික්ෂේප කළාම එකෙක්ව බිල්ලට දීලා තමන්ට මිදෙන්න පුළුවන් කියලා හිතෙනවා නම් වැරැදියි.

අගමැති ධුරයට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ නමත් යෝජනා වී තිබෙන බව දැනගන්නට තිබෙනවා යැයි පැවැසූ විට මන්ත්‍රිවරයා මෙසේ කීවේය.
මගේ මිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ වෙලාවේ පක්ෂ නායකත්වය භාරගෙන පුපුරන්න තියෙන බෝම්බයක් භාර ගනියි කියලා හිතන්නේ නෑ. මගේ මිත්‍රයට මොළය තියෙනවා කියලා තමයි මම හිතන්නේ. බොහෝ වෙලාවට ඔහු කැමැතිවේවි ඊළඟ ජනාධිපතිවරණයත් ඉවර වෙලා පක්ෂ නායකත්වය භාරගන්න. මොකද අනාගත ජනාධිපතිවරණයට අපි ශක්තිමත් අපේක්ෂකයා ඉදිරිපත් කරන ප්‍රතිඥාව අපි දීලා තියෙන්නේ.
සජිත් ප්‍රේමදාස පුපුරන බෝම්බය බදාගෙන තමන්ගේ බෙල්ල දෙයි කියලා හිතන්නේ නැහැ.

මහින්ද සුළඟෙ මීළඟ ඉලක්කය අගමැති ධුරයද යන්න ප්‍රශ්නයටත් මන්ත්‍රිවරයා පිළිතුරු සැපයුවේය.
නැහැ, අපේ ඉලක්කය දෙනවා නම් ජනපති ධුරය සහ අගමැති ධුරය යන දෙකම. නැති නම් අපි ලෑස්තියි ඉදිරි මාස විස්සත් විපක්ෂයේම ඉඳලා මේ ජන රැල්ල වේගවත් කරලා ජනාධිපතිවරණයේදී ඓතිහාසික ජයග්‍රහණයක් අත්පත් කරගන්න.