ගලේවෙල කැප්පිටිය ප්‍රදේශයේ පුද්ගලික නිවෙසක් ඉදිරිපිට ගේට්ටුවක් අසල තුවාල ලබා වැටී සිටි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු 24 වෙනි දින රාත්‍රියේ ගලේවෙල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ ගලේවෙල, රන්වැඩියාව පදිංචි මොහොමඩ් ඉන්ශන් යන අයයි. මියගිය දරුවා තම මිතුරන් තිදෙනකු සමග එක්ව රාත්‍රී 7.30ට පමණ නිවෙසින් බැහැරව අඳුරු ස්ථානයක හොර රහසේ දුම්වැටියක් පානය කරමින් සිට ඇත. අසල්වැසියෙකු මෙය දැක ඇති අතර ඔහුට බියේ තිදෙනාම

කළුවරේ සීසීකඩ දුව ගොස් ඇත.

 එම අවස්ථාවේ මියගිය සිසුවා නිවෙසක වසා තිබු ගේට්ටුවක හිස හා පපු පෙදෙස වැදී එම ස්ථානයේම වැටී සිටියදී අසල්වාසීන් දැක රෝහල් ගතකර ඇති බව මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත. මියගිය සිසුවාගේ පියා වන මොහොමඩ් ඉස්ලියාස් මහතා කියා සිටියේ තම දරුවා හෘදයාබාධයකින්ද පෙළමින් ප්‍රතිකාර ලබමින් සිටි බවත් මිතුරන් සමග එක්ව ගිය ගමනකදී අනතුරට පත්ව සිටි බව දැනගත් බවත් හිසට හා පපු පෙදෙසේ තවාල දැකගත හැකි වූ බවය.

 මියගිය සිසුවාගේ මළ සිරුර පිළිබඳව පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත මාතලේ රෝහලට යොමුකර ඇත. ගලේවෙල පොලීසිය පරීක්ෂණ සිදු කරයි.