රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් හා මුදල් නීති විරෝධී ආකාරයට උපයාගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු ඇමැති සහ වත්මන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාට ඊයේ (11දා) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදෙනු ලදී.


අල්ලස් කොමිසම මඟින් ඉදිරිපත් කර තිබූ මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ විත්තිකරුට භාරදෙන ලදී.
ඉන් අනතුරුව විත්තිකාර විමල් වීරවංශ රුපියල් ලක්ෂ 05ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ නඩු භාණ්ඩ ලේඛනය ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන මෙන් ඉල්ලා සිටියාය.

විත්තිකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ විභාග දිනය පළාත් පාලන ඡන්දය අවසන් වීමෙන් පසුව එළැඹෙන දිනයක නියම කරන මෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව නඩුව පෙබරවාරි මස 19 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කළ විනිසුරුවරයා එදින නඩු විභාග දිනය නියම කරන බව ප්‍රකාශ කළේය.
2010 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාල සීමාව තුළ සිය නීත්‍යනුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් හා දේපළ නීති විරෝධී ආකාරයට උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විමල් වීරවංශ මන්ත්‍රිවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ

කේ.එස්. උදය කුමාර්