කොළඹ විශාඛා විදුහලේ ගුරුවරියක විසින් පදවාගෙන එනු ලැබූ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් ඊයේ උදේ 6.15 ට පමණ විදුහල් භූමියේ ගාල් කිරීමට යද්දී රථය වේගයෙන් ධාවනයවී විදුහලේ තාප්පය කඩාගෙන වජිර
පාරට ඇදි ගොස් එහි යකඩ වැට ද කඩාගෙන ගොස් යුද හමුදා මෝටර් රථයක හැපී නතරවී තිබුණි.

 මෙම අනතුරෙන් ගුරුවරියගේ මෝටර් රථයට බරපතළ අලාභහානි සිදුවී ඇති බවත් අනතුර සිදුවන විට රථයේ ආරක්‍ෂක බැලූන ක්‍රියාත්මකවීම නිසා ඇගේ ජීවිතය බේරි ඇති බවත් වාර්තා විය. අනතුරින් ගුරුවරියගේ පාදයකට සුළු තුවාල සිදුවීම නිසා ඇය කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටවී ගොස් ඇත.
 මෙම ගුරුවරිය සිය මෝටර් රථය පදවාගෙන විදුහල් භූමියට ඇතුළුවී විදුහල්පතිනියගේ නිල කාමරය සහ ප්‍රධාන ශාලාව අතර ඉඩ ඇති කොටසේ වාහනය ගාල් කිරීමට යෑමේදී වැරදිමකින් ඇක්සලේටරය පෑගීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් පරික්‍ෂණවලදී හෙළිවී ඇත. අනතුරෙන් විදුහලේ තාප්පයට ද යුද හමුදා මෝටර් රථයකට ද හානි සිදුවී ඇති නිසා රජයේ දේපළවලට අලාභහානි සිදුකිරීමේ චෝදනාව යටතේ ගුරුවරියට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිසිය දන්වා ඇත.