ස්වාමිදුව සතු රත්රන් මාලයක් සොරකම් කිරීමේ වරදට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහසේවිකාවක වශයෙන් සේවය කළ ලාංකික කාන්තාවකට එරට අධිකරණය විසින් මාස හයක සිරදඬුවමක් නියම කර
ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. එම කාන්තාවට එරෙහි චෝදනාව පෙරේදා (18) සාජා අධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී ඇය එම චෝදනාවට වරදකරු කරමින් මෙම දඬුවම පනවන ලදී.
සිර දඬුවම අවසන් වූ වහාම එම කාන්තාව එරටින් පිටුවහල් කිරීමටද අධිකරණය නියෝග

කරනු ලැබ ඇත.
මෙම කාන්තාව සොරකම් කරනු ලැබූ තම ස්වාමිදුවගේ රත්රන් මාලය ගෙලෙහි බැඳ සිය ෆේස්බුක් සමාජ ජාල ගිණුමේ ඡායාරූපයක් මීට සති කිපයකට පෙර පළ කර තිබේ.
 ස්වාමිදුව එය දැකීමෙන් පසුව ලංකික ගෘහසේවිකාව අදාළ සොරකම කළ බවට සාජා පොලීසිය හමුවේ පැමිණිල්ල ගොනු කර තිබේ. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් සාජා පොලීසිය එම ගෘහසේවිකාව කැඳවා ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර ඇය චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.
 ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ ඡායාරූපයේ දක්නට ලැබෙන රත්රන් මාලය ඇයට ස්වාමි දුව විසින් තමන්ට තිළිණ කළ එකක් බවද ලාංකික කාන්තාව පොලිසියට කියා ඇත.
සොරකම් කරන ලද රත්රන් මාලය පසුව ස්වාමිදුවිගේ නිවසේ කුණු බාල්දියක තිබියදී හමුවී තිබේ. කෙසේවෙතත් ඇය ලබාදුන් සාක්කි පරස්පර වීම හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇයට එරෙහිව සාජා පොලීසිය නඩු පවරන ලදී.