මැතිවරණ කොමිසමේ ඉල්ලීමට පිටුපාමින් රජයේ වෛද්‍යවරුන්, ජල සම්පාදන සේවකයින්, දුම්රිය නියාමකයින් හා රියැදුරන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නලින්ද හෙරත් මහතා සඳහන් කළේ, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද පෙරවරුවේ සිට තමන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

අද උදෑසන 8 ට ආරම්භ කරන සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට පෙරවරු 8 දක්වා

පැය 24 ක කාලයක් ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේ ය.

අද උදෑසන 9 සිට පැය 4 ක සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, වැටුප් වර්ධක ලබා නොදීමට විරෝධය පළ කරමින් එම සංකේත වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට පිවිසෙන බවයි.

චී න දුම්රිය මැදිරිවල පවතින තිරිංග දෝෂවලට විරෝධය පළ කරමින් දුම්රිය නියාමකයින් සහ රියැදුරන් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද 7 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

ලොකමොටෙව් දුම්රිය ඉංජිනේරුවන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ බලධාරීන්ගෙන් ඊට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.

මේ අතර අවම වශයෙන් පෙබරවාරි 15 වන දා දක්වා, ඡන්ද විමසීමට බාධාවක් වන කිසිදු කටයුත්තකින් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු වෘත්තිකයින්ගෙන් හා වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටී.