කොමිසම් වාර්තාවෙ කරුණු පරස්පරයි
අනිකා කියූ වචනයක්වත් නෑ - මේක කුමන්ත්‍රණයක්

ප්‍රකාශයක් කරන්න කතානායක ඉඩ නොදුන් පසු
- රවී ෆේස් බුක් දැමූ කතාව

ඊයේ පාර්ලිමේන්තුවේදී හිටපු මුදල් ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක, බැඳුම්කර කොමිෂන් වාර්තාවට අදාළ ප්‍රකාශයක් මන්ත්‍රි වරප්‍රසාද යටතේ ඉදිරිපත් කිරීමට...කළ ඉල්ලීමට කතානායක කරු ජයසූරිය එකඟ නොවීම නිසා මන්ත්‍රිවරයා හා කතානායකවරයා අතර වචන හුවමාරුවක් සිදුවිය.

රවි කරුණානායක -"ගරු කතානායකතුමනි, මම රීති ප්‍රශ්නයක් යටතේත් මෙම ප්‍රකාශය කිරීමට ඉල්ලුවා. මම මේ පාර්ලිමේන්තුවේ, දීර්ඝ කාලයක් නියෝජනය කළ මන්ත්‍රිවරයෙක්. මම මේ ප්‍රකාශය කරන්න
අවස්ථාව ඉල්ලන්නේ මන්ත්‍රි වරප්‍රසාද යටතේ."
කතානායක -
"ගරු මන්ත්‍රිතුමා, මේක බැඳුම්කර සිද්ධියට අදාළයි. මේ ප්‍රකාශය මේ අවස්ථාවේ කරන්න ඉඩ දෙන්න බැහැ. මම ඔබතුමාට කරුණු පැහැදිලි කළා. කරුණාකරලා ඒක පිළිගන්න."
රවි කරුණානායක -

"මහින්දානන්ද අලුත්ගමගේ ගැන එයාගෙ මල්ලී ප්‍රකාශයක් කරන්න ඉල්ලුවාම ඒකට ඉඩ දුන්නා. මේ තරම් කාලයක් පාර්ලිමේන්තුවේ ඉන්න මගේ ඉල්ලීමට ඉඩ නොදීම සාධාරණ නැහැ."
කතානායක -
"ඒ ගැන මම දන්නෙ නැහැ. මම ඒ ගැන සොයා බලන්නම්. මේ ප්‍රකාශය කරන්න මට ඉඩ දෙන්න බැහැ. ඒක මන්ත්‍රි වරප්‍රසාද යටතට එන්නෙ නැහැ."
රවි කරුණානායක -
"ඔබතුමා මට මේ ප්‍රකාශය කරන්න ඉඩ දෙන්නෙ නැති නම්, මම පාර්ලිමේන්තුවේ කරන්න සූදානම් වූ ප්‍රකාශය මාධ්‍යයට ලබා දෙනවා."
කතානායක -
"ඒක ඔබේ කැමැත්තක්. මෙහිදී මේ ප්‍රකාශය කරන්න ඉඩ දෙන්න බැහැ."

------
පසුව රවී කරුණානායකගේ ෆේස් බුක් පිටුවේ ඔහු කරන්නට සිටි කතාව පළ කර තිබුනේ පහත පරිදිය.

ගරු කථානායකතුමනි,

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රවී කරුණානායක වන මාගේ  වරප්‍රසාද කඩවීම සම්බන්දයෙන් වූ ප්‍රකාශය මෙම ගරු සභාව හමුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව  සලසා දීම පිළිබඳව මා පළමු කොට ඔබතුමාට ස්තූතිය පිරිනමනවා.
2015 ජනාවාරි 8 දා සිට, අපේ හදවත් තුළ රැව් දුන්නා ලොකු සිහිනයක්. ඒ තමයි, සම්මුතිවාදය හා යහපාලනය ස්ථාපිත කොට මේ රටට අහිමිවූ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව, ස්ථාපිත කර,  ආර්ථික සහ සමාජීය සංවර්ධනය කඩිනමින් ලබාදීම. ඒ වෙනුවෙන්  2015 ජනවාරි 8 වනදා  අප විසින් නව ජනාධිපතිවරයකුත්  නව රජයකුත් පිහිටුවා ගත්තා. අනතුරුව 2015 වසරේ සම්මුති ආණ්ඩුවක් පිහිටුවා ගත්තා.
නමුත් කණගාටුවට වගේ  වසර 3 කට පසු පටු දේශපාලන අරමුණු සහ නොමග යැවීම් නිසා එම සිහිනය  අවාසනාවන්ත ලෙස අද වන විට දිය වී යන බවක් අපට හැඟෙනවා.
ඒ එක්කම සම්මුතිවාදය හා යහපාලනය පිලිබඳ අතිශය විශ්වාස කරන සහ, ඒ වෙනුවෙන්  පෙනී සිටින පුද්ගලයෙක් ලෙස, ඒ සිහිනය යථාර්ථයක් කර ගැනීමට අවසානය තෙක් සටන් කරන අපේක්ෂාවෙන් යුතුවයි  මම අද මේ ප්‍රකාශය  සිදුකරන්නෙ.
කිසිවෙකුට පහරදීම මගේ අපේක්ෂාව නොවෙයි
ආන්දෝලනාත්මක බැඳුම්කර සිදුවීම නිසා මා තරම් චරිත ඝාතනයට සහ අපහාසයට ලක්වූ කෙනෙක් මේ දේශපාලන ක්ෂේත්‍රයේ නැහැ. ඒ නිසාම මට මගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට පැහැදිළි අයිතියක් තිබෙනවා. එහෙත් මේ ප්‍රකාශය තුලින් කිසිවෙකුටවත් පහර දීමට මා තුළ අදහසක් නෑ.  මට එල්ලවී තිබෙන චෝදනා සම්බන්ධයෙන් මගේ පැත්තේ තිබෙන සත්‍යවාදී බව ඔප්පු කරන්නට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

මට කොතරම් අවලාද නැගුවත් ඒවාට මුහුණදීමට තරම් මට ශක්තිය තියනවා. ඒ සත්‍යයේ ශක්තියයි. සාධාරණත්වයේ සහ යුක්තියේ ශක්තියයි.
ඇතැම් විට ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවැනි වරප්‍රසාද කඩ වීමක් සම්බන්ධව,  පාර්ලිමේන්තුවට පැමිණිලි කරන ප්‍රථම  අවස්ථාව මෙය වෙන්න පුළුවන්.
යහපාලනය වෙනුවෙන් පෙනී සිටි, ඒ වෙනුවෙන් හැමවිටම සටන් කල මා, මේ සිදුවීම් දාමයේ දරුණු සහ සැළසුම් සහගත  දේශපාලන ඉලක්කය බවට පත්ව තිබෙනවා.
මට මේ අවස්ථාවේ අපේ ජන වහරේ එන ප්‍රස්ථා පිරුලක් සිහිවෙනවා. - "වැටත් නියරත් ගොයම් කානම් කාට පවසන් ඒ අමාරුව ? "
වාර්තාව එනකල් බලාගෙන හිටියෙ
ගරු කථානායකතුමනි,
මෙම කොමිසමේ කටයුතු වලට මාගේ නම පැටලුනු දවසේ සිට මෙම කොමිසමේ වාර්තාව එළිදකින තුරු මම සිටියේ නොඉවසිල්ලෙන්. 
ජනාධිපතිවරයා විසින් ප්රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසම පත්කරනු ලැබුවේ 2017 ජනවාරි 27 වනදා. පසුව එම කොමිසම මාස 10 ක පමණ කාලයක් සිදුකළ විමර්ශන වලින් පසුව සකස් කළ වාර්තාව,  2017 දෙසැම්බර් මස 30 වන දින ජනාධිපතිවරයා වෙත බාර දෙනු ලැබුනා.
පිටු දහස් ගණනකින් යුත් මේ කොමිෂන් සභා වාර්තාව දින තුනක් වැනි කෙටි කාලයකදී,  අලුත් අවුරුදූ දවස් වල, ජේෂ්ඨ  නිලධාරීන්ගෙන් යුතු කමිටුවක් විසින්, කළබලයෙන් වගේ,  පිටු තුනකට සාරාංශ කර, ජනාධිපතිවරයාට ලබාදීමට කටයුතු කර තිබෙනවා.
එම වාර්තාව ඇසුරෙන් 2018 ජනවාරි මස 3 වන දින ජනාධිපතිවරයා මාධ්ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා.  අද මා මේ සිදුකරන ප්‍රකාශය  සඳහාත් මුලික පදනම වන්නේ එම ප්‍රකාශයයි.
ජනාධිපතිගේ ප්‍රකාශය
එම  ප්‍රකාශයෙහි මෙසේ සඳහන් වෙනවා.
"ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබු වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම විසින් පෙන්ට්හවුස් තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය  රවී කරුණානායක මහතා වෙත වගකීම වාර්තාවේ සදහන් වෙනවා. ඔහුට විරුද්ධව අල්ලස් හා දුෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ  කොමිෂන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්දයෙන් නඩු පැවරිය යුතු බවත්  මෙම වාර්තාවේ සදහන් වෙනවා."
මේකේ කියන්නේ මට විරුද්ධව නඩු පැවරිය යුතු බවක්.
ඒත් පසුව අපට ලැබුණු වාර්තාවේ සඳහන් වන්නේ, වැරැද්දක් සිදුවෙලා තියනවාද කියා අදාළ ආයතන මඟින් සොයාබලා, එසේ වැරැද්දක් සොයා ගතහොත් පමණක්, අදාළ ක්රියා මාර්ග ගන්න කියලයි.
මේක පුදුම තත්ත්වයක්. හරියට ක්‍රිකට් වලදී වයිඩ් පන්දුවක් එවපු වෙලාවක පිතිකරුවා එය නිදැල්ලේ යාමට ඉඩ හරිද්දී විනිසුරුවරයා පිතිකරුවාව දැවී ගිය බවට තීන්දුවක් දුන්නා වගේ.
මට අවසර දෙන්න, ඒ ගැන පැහැදිළි කරන්න.
මෙම වාර්තාව බැලීමේදී ඉතාමත්ම පැහැදිළියි, බැඳුම්කර ගනුදෙනුවට මාව සම්බන්ධකර දියත් කළ මාධ්‍ය මෙහෙයුම සැළසුම් සහගත කුමන්ත්රණයක් බව.
බැදුම්කර ගනුදෙනුවලදී මා මුදල් ඇමති ලෙස කටයුතු කරමින්  රාජ්ය බැංකු වලට උපදෙස් දීමෙන් රජයට විශාල පාඩුවක් කල බවට සමහර දේශපාලකයින් සහ ඇතැම් මාධ්ය විසින් විශාල ප්‍රචාරයක් ගෙන ගියා.
කොමිසම කියන්නේ වෙනත් කතාවක්
නමුත් කොමිසම කියන්නෙ සම්පුර්ණ වෙනස් කතාවක්.
මම එම වාර්තාවේ, පිටු අංක  838 වෙත ඔබගේ අවධානය යොමු කරනවා. එහි මෙසේ සඳහන් වනවා.
We have earlier, concluded that, in view of the undesirably high Yield Rates which then prevailed, it was reasonable and justifiable for Hon. Ravi Karunanayake, MP, the then Minister of Finance, to wish to bring these Yield Rates down at these Treasury Bond Auctions. We have also taken the view that, since successive Governments have been known to use the state-owned Peoples Bank, National Savings Bank and Bank of Ceylon to implement some policy measures and it is not per se irregular for a Government to do so, we cannot find fault with Hon. Ravi Karunanayake, MP, the then Minister of Finance for convening these meetings and giving the aforesaid instructions to the three State Banks.
මේ මගින් මුදල් ඇමති ලෙස  මෙම අනුපාත අඩු කිරීම සාධාරණ හා නිත්යානුකුල බව කොමිසම පිළිගෙන තිබෙනවා.
it was reasonable and justifiable for Hon. Ravi Karunanayake, MP, the then Minister of Finance, to wish to bring these Yield Rates down at these Treasury Bond Auctions.
මීට පෙර තිබූ රජයන්ද මෙය ප්‍රතිපත්තිමය ලෙස කර ඇති බව කොමිසම තවදුරටත් පිළිගෙන තිබෙන බැවින් මගේ වරදක් නොමැති බව කොමිසම තහවුරු කර තිබෙනවා.
to implement some policy measures and it is not per se irregular for a Government to do so, we cannot find fault with Hon. Ravi Karunanayake
ඒ වගේම මුදල් ඇමති හැටියට මම මහ බැංකුවට උපදෙස් දුන් බවටත් පුළුල් ප්රචාර ගෙන ගියා. අද කොමිසම මේ සියල්ල ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මම එම වාර්තාවේ, පිටු අංක  838 වෙත ඔබගේ අවධානය යොමු කරනවා.
However, we have also earlier concluded that, there is no evidence before us which suggests that, Hon. Ravi Karunanayake, MP or the Ministry of Finance advised the CBSL that the aforesaid instruction had been given to the three State Banks.
ඉහත වාර්තාව අනුව  මා  හෝ මුදල් අමාත්‍යංශය   මේ ගනුදෙනු වලදී මහ බැංකුවට  උපදෙස් දුන් බවට කිසිදු සාක්ෂියක් නොමැති බව කොමිසම පිළිගෙන තිබෙනවා.
ගරු කථානායකතුමනි,
එම වාර්තාවේ  මහ බැංකුව සහ බැඳුම්කර ගනුදෙනුව මාගේ යටතේ ක්‍රියාත්මක වන හෝ මගේ බලපෑම යටතේ ඇති ආයතනයක් නොවන බව පිළිගෙන තිබෙනවා.
නීතිඥවරුන්ගේ නිගමන
ඒ වගේම මෙම වාර්තාව පරිශීලනය කිරීමෙන් අනතුරුව මගේ උගත් නීතිඥයන්   පහත දැක්වෙන නිගමන වලට එළඹ තිබෙන බව මට දැන්වුවා.
1.      පර්පෙචුවල් ට්රෙෂරීස් හෝ වෙනත් අයකුට බෑදුම්කර මිලදී ගැනීම හා විකිණීම මගින්  ලාභ ලැබීම සම්බන්ධයෙන්  මගේ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බව බැඳුම්කර කොමිසම තහවුරු කර ඇති බව
2.      මහ බැංකුව විසින්   බෑදුම්කර විකිණීම හා/හෝ ප්රාථමික වෙළෙඳුන් විසින් බෑදුම්කර මිලදී ගැනීමේදී කිසිඳු ආකාරයක නීති විරෝධී හා/හෝ නුසුදුසු ක්‍රියාවක මා නිරත වී වරදකරුවකු වී ඇති බව කිසිදු සාක්ෂියක් බැඳුම්කර කොමිසම වාර්තා කර නොමැති බව
කොමිසමේ නිර්දේශ
ගරු කථානායකතුමනි,
දැන් මම යොමු වෙන්නම් මේ වාර්තාවේ නිර්දේශ වෙත.
කොමිෂන් වාර්තාවේ පර්ච්චේද 33 තිබෙන්නේ  නිර්දේශ. පිටු අංක 921 සිට 922 දක්වා නිර්දේශ 30ක් දක්වා තිබෙනවා. ඉන් නිර්දේශ අංක 24 හා 25 එනම් පිටු අංක 920 සහ  921 මා හා සම්බන්දයි. එය ඉංග්රීසි භාෂාවෙන් දක්වා තිබෙනවා.
කරුණාකර ඔබ ඉදිරියේ ඇති වාර්තාවේ පිටු අංක 920 — 921 හී ඇති නිර්දේශ අංක 24 බලන්න.
As stated earlier in Chapter 24, we recommend that, the Commission to Investigate Allegations of Bribery or Corruption should consider whether Hon. Ravi Karunanayake, MP, while he was Minister of Finance, derived a substantial benefit from the Lease Payments made by Walt and Row Associates (Pvt) Ltd [which is an Associate Company of Perpetual Treasuries Ltd and which is owned and controlled by the same persons who own and control Perpetual Treasuries Ltd] for the lease of apartment occupied by Hon. Ravi Karunanayake, MP and his family and, if so, determine whether appropriate action should be taken against Hon. Ravi Karunanayake, MP, under the Bribery Act;
මෙම නිර්දේශයේ  සිංහල භාෂාවට කරන ලද දිවුරුම් පරිවර්තනය මා දැන් කියවනවා.
24 වැනි පරිච්ඡේදයේ කළින්   ප්‍රකාශ  කර ඇති පරිදි, ගරු මන්ත්රී  රවී කරුණානායක මුදල් ඇමතිවරයාව සිටියදී, ඔහු සහ ඔහුගේ පවුල පදිංචිව සිටි නිවාසය සඳහා බදු මුදල් ගෙවීම පර්පෙචුවල් ට්රේෂරිස්  සමාගම හිමි සහ පාලනය කරන පුද්ගලයින්ටම අයත් අනුබද්ධිත සමාගමක් වන වෝල්ට් සහ රෝ ඇසෝෂියේට්ස් (පෞද්ගලික) සමාගම විසින් සිදු කිරීම මගින් ගරු රවී කරුණානායක මන්ත්ත්‍රීවරයාට  සැලකිය යුතු ප්රතිලාභයක් අත් වූයේ දැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විභාග කරන කොමිෂන් සභාව සලකා බැලිය යුතු බවට අප නිර්දේශ කර සිටින අතර, ගරු රවී කරුණානායක මන්ත්රීවරයාට එවැනි සැලකිය යුතු ප්රතිලාභයක් අත් වූයේ නම්, අල්ලස් පනත යටතේ ඔහුට එරෙහිව සුදුසු පියවර ගත යුතුදැයි තීරණය කරන ලෙසට ද නිර්දේශ කර සිටිමු.
මෙතැනදී කියලා තියෙන්නෙ Commission to Investigate Allegations of Bribery or Corruption should consider Hon. Ravi Karunanayake, MP, while he was Minister of Finance, derived a substantial benefit හා if so, determine whether appropriate action should be taken කියලා. මෙතන නඩු දාන්න කියලා නෑ.
ඔබතුමන්ලාට හොඳටම පැහැදිළියි මේ කරන ලද කුමන්ත්රණය. මේකේ කොහෙද කියලා තියෙන්නේ අල්ලස් හා දුෂණ චෝදනා මත මට විරුද්ධව නඩු පවරන්න කියලා. මේවා සැළසුම් සහගත දේශපාලන කුමන්ත්රණ. නින්දා සහගත කුමන්ත්රණ. මාව දේශපාලන වශයෙන් ඝාතනය කරන්න ගත්ත උත්සාහයක්.
ඊළඟ කාරණය ඊටත් වඩා භයානකයි
ඒ විතරක් නෙවෙයි, ඊළඟට තියන කාරණය ඊටත් වැඩිය භයානකයි.
පිටු අංක 922 ඉංග්රීසි භාෂාවෙන් තිබෙන නිර්දේශ අංක 25 මම දැන් කියවනවා. කරුණාකර ඒ පිටුව බලන්න.
As stated earlier in Chapter 24, we also recommend that, the Hon. Attorney General and other appropriate authorities consider whether some of the evidence given by Hon. Ravi Karunanayake, MP before us is shown to have been incorrect and, if that is the case, whether Mr. Karunanayake should be prosecuted under Section 179 and/or Section 188 of the Penal Code or other relevant provision of the Law, read with Section 9 of the Commissions of Inquiry Act No. 17 of 1948;
මේ නිර්දේශ අංක 25 හී  සිංහල භාෂාවට කරන ලද දිවුරුම් පරිවර්තනය මා දැන් කියවනවා.
24 වැනි පරිච්ඡේදයේ කළින් ප්රකාශ කර ඇති පරිදි, ගරු රවී කරුණානායක මන්ත්රීවරයා  අප ඉදිරියේ ලබා දුන් සාක්ෂිවලින් සමහර සාක්ෂි සදොස් සහිත බවට පෙනී යන්නේ දැයි ගරු නීතිපතිවරයා සහ අනෙකුත් අදාළ බලධාරීන් සලකා බැලිය යුතු බවට අප නිර්දේශ කර සිටින අතර, එම සමහර සාක්ෂි සදොස් සහිත බවට පෙනී යන්නේ නම්, දණ්ඩ නීති සංග්රහයේ 179 සහ/හෝ 188 යන ඡේද අනුව හෝ අන් කිසියම් නීතිමය ප්රතිපාදන, සහ 1948 අංක 17 දරන විමර්ශන කොමිෂන් සභා පනතෙහි 9 වැනි ඡේදය හෝ යටතේ කරුණානායක මහතාට එරෙහිව නීතිමය පියවර ගත යුතුදැයි තීරණය කරන ලෙසට ද නිර්දේශ කර සිටිමු.
නඩු පවරන්න කියලා නෑ
මෙහිදී කියලා තියෙන්නෙ Attorney General and other appropriate authorities consider whether some of the evidence given by Hon. Ravi Karunanayake, MP before us is shown to have been incorrect and, if that is the case, whether Mr. Karunanayake should be prosecuted. ඒ කියන්නේ නඩු පවරන්න කියලා නෙවෙයි.
එහෙනම් මේක ඊට එහා ගිය කුමන්ත්රණයක්.
ජනාධිපතිතුමාට ලියලා දුන්න ප්රකාශයේ කියවෙනවා අසත්ය සාක්ෂි දීම සම්බන්ධයෙන් මට නඩු පැවරිය යුතු බව. හැබැයි වාර්තාවේ කියන්නෙ අසත්ය සාක්ෂි දීපු බවක් නොවෙයි. සාක්ෂි සදොස් යැයි නීතිපතිවරයා සහ අනෙකුත් බලධාරීන් සලකා බැලිය යුතු බවට නිර්දේශ කරන බවත් එම සමහර සාක්ෂි සදොස් සහිත බවට පෙනී යන්නේ නම් මට එරෙහිව නීතිමය පියවර ගතයුතු දැයි තීරණය කළයුතු බවය.
එසේනම් අන්තිමේදී මේ කොමිසමේ මට අදාළ ප්රශ්නයකට ඇත්තේ මගේ දියණිය සිය සමාගම වෙනුවෙන්  කුලියක් ගෙවීම පිණිස ලබා ගෙන ආපසු ගෙවපු රුපියල් මිලියන 11 ගැන පමණයි.
ඉන්න දැන් මං ඒ ප්රශ්නයත් විසඳලා පෙන්වන්න.
මා මේ ගරු සභාවේ අවධානය යොමුකරනවා, පරිච්ජේද 24 ට. එහි පිටු අංක  827 ට.
වෝල්ට් ඇන්ඩ්  රෝ අසොසියෙට් සමාගමට මාගේ පවුල විසින් මුදල් ප්රතිපුර්ණය ( reimbursement) කල බව, එනම්  ලබා ගත මුදල් ආපසු ගෙවූ බව මා හට ඔප්පු කිරීමට නොහැකි වූ බව, එනම් කිසිදු සාක්ෂියක් පෙන්නීමට  නොහැකි වූ බව.(Mr. Karunanayaka did not produce any evidence to show that any reimbursements had…) කොමිසම්  වාර්තාවේ පිටු අංක 827 හි දක්වා තිබෙනවා.
රිසිට් පෙන්නුවට බැලුවේ නෑ
එහෙත් පිටු අංක 832 දී දක්වා ඇති පරිදි මගේ පිලිතුරේදී I got the receipt here that the reimbursement has taken place යනුවෙන් ප්රතිපුර්ණය සිදු වූ බව පෙන්වන, රිසිට්පත් මෙන්න, යනුවෙන් ප්රකාශ කල බව වාර්තාවේ සදහන් වෙනවා.
එම රිසිට්පත් එදා එලෙස ඉදිරිපත් කළත් එය බැලීමට හෝ ඒ පිළිබඳ තවදුරටත් සොයාබැලීමට කිසිඳු උත්සාහයක් එදා තිබුණේ නෑ.
මං දන්නෙ නෑ ඒ ඇයි කියලා. ඒ කොහොම වුනත් අදාළ රිසිට්පත් ඉදිරිපත් කරන විට ඒ ගැන නොසළකා දැන්  මෙලෙස චෝදනා නැගීම  ඉතාම කණගාටුදායකයි.
මං දන්නෙ නෑ මේ ජනාධිපති කොමිසමක විදිහද කියලා. ඒත් කොමිසමේ විදිහ මේක නම්, මගේ දියණිය විසින් ප්රතිපුර්ණය කල, මා විසින් කොමිසම හමුවට ඉදිරිපත් කල  රිසිට් පත් පිළිබඳ අවධානය යොමු නොකිරීම  නිසා මට අගතියක් වූ බව සඳහන් කරන්න ඕන.
අත්අඩංගුවට ගන්න කුමන්ත්රණයක්
ගරු කතානායකතුමනි,
මම අසත්ය සාක්ෂි දුන් බවට විශාල මඩ ප්රචාරයක් ගෙන යනවා. ඒ වගේම මාව මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න යන බවට ජනාධිපති කාර්යාලයේ ඇතැම්  නිලධාරීන්ගේ උපදෙස් ක්රියාත්මක වන  වෙබ් අඩවි වල ප්රවෘත්ති පළකරනවා. ඒවාට උත්තර දෙනකොට ගලවලා ඉවත් කරනවා.
මා බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ බොරු ප්රකාශයක් කළා නම් COMMISSION OF  INQURIES ACT  එකේ SECTION 10 යටතේ ඒ අවස්ථාවේදීම  මට එරෙහිව කටයුතු කිරීමට කොමසාරිස්වරුන්ට හැකියාවක් තිබුනා. මට එරෙහිව සතුරු වේශයෙන් ප්රශ්න කළ මාව අපරාධ කාරයෙක් ලෙස සලකා ප්රශ්න කළ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මම බොරු කිව්වා නම් නිහඬව ඉන්න කිසිම ඉඩක් තිබුණේ නෑ.  ඒ සඳහා දඬුවම් දීමට බලයක් කොමිසම සතුව  තිබුනා.
මට මතකයි  සමහර මන්ත්රීවරු කොමිසම ඉදිරියේ බොරු සාක්ෂි දීලා සමාව ගත්ත බව.  නමුත්  මාස 5ක් ගත වී, ඊට අදාළව කිසිදු පියවරක් නොගෙන මෙසේ මා හට  චෝදනා නැගීමට ඉඩ තැබීම තේරුම් ගන්නේ කොහොමද? ඒ  පිළිබඳ මා නැවතත් අවධාරණය කරන්නේ මේ ඉතා පහත්  දේශපාලන කුමන්ත්රණයක් බවයි. කාගෙද මේ උවමනාව?
අනිකාගේ සාක්ෂිය වාර්තාවේ කෝ?
ඒ වගේම ඔබට මතක ඇති, මට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ කාන්තාවකට, මගේ ඥාතියෙක් මරණ තර්ජනය කළ බව, නීතිපති නිලධාරීන් හදිසියෙම වගේ කොමිසමට වාර්තා කළා. ඒක සම්පුර්ණ බොරුවක්. ඒ අදාළ පුද්ගලයා මගේ ඥාතියෙක් නොවෙයි. මේ කාරණයට මාධ්ය වල ප්රමුඛතාවක් ලැබුණා. මේවා විශ්වාස කරන මිනිස්සු, මා සහ මගේ පවුල පිළිබඳ වැරදි චිත්ර මවා ගත්තා. එය මගේ දේශපාලන ජීවිතයට දැඩි අගතියක් ඇති කළා.
නීතිපති නිලධාරීන්ට අතිශය වැදගත් වූ එමෙන්ම විශාළ මාධ්ය සංදර්ශනයක් ඇතිකර මේ සිද්ධිය ගැන කිසිඳු සටහනක් මේ වාර්තාවේ සටහන් නොවීම මෙම දේශපාලන කුමන්ත්රණයේ තවත් පැතිකඩක්.
මට සියළු චෝදනා නැගීමට පාදක කරගත් අදාළ නිවස හිමි කාන්තාවගේ සාක්ෂියටද මාධ්ය ඔස්සේ අතිශය ප්රබල ප්රචාරයක් ලබාදුන්නා. එයද මගේ කීර්ති නාමයට දැඩි බලපෑම් ඇති කළා.
එදා මහා විශාල මාධ්ය සංදර්ශනයක් පවත්වමින්, මේ කාන්තාවට රජයේ ප්රභූ ආරක්ෂකයින් 6 දෙනෙකු ලබා දුන්නා. ඒ වගේම ඇයගේ සහෝදරයා වෙත ප්රභූ ආරක්ෂකයින් දෙදෙනකු ලබාදුන්නා. ඒත් යහපාලනය ගෙන ඒම වෙනුවෙන් කැපවීම් කර  ඒ නිසාම බැට කමින් සිටින මේ කතාකරන මා හට කිසිඳු ආරක්ෂයෙකු ලබාදී නැහැ.
හරි පුදුමේ කියන්නේ, එච්චර ලොකු ඝෝෂාවක් කරලා, එච්චර ලොකු ආරක්ෂාවක් දීලා ගත්ත ඒ කාන්තාවගේ සාක්ෂියත් කොමිෂන් වාර්තාවෙ නොමැති වීමයි.
දැන් මෙතැනදී මට අහන්න ප්රශ්නයක් තියනවා. අච්චර ඝෝෂා කරලා, ආරක්ෂකයන් දුන්නේ  වැඩකට නැති සාක්ෂියකටද? නැත්නම් මට මඩ ගහන්න අවශ්ය  සාක්ෂි දීම සඳහා ජනතා මුදලින් ආරක්ෂකයින් දුන්නද?
මේක සම්පුර්ණ පරස්පරයක්. විකෘතියක්. කුමන්ත්රණයක්. සමාජය නොමග යැවීමක්. මේ ජරා දේශපාලන සංස්කෘතිය අපි නැති කරන්න ඕන.
යහපාලනයක් ක්රියාත්මක වන රටක එහි ප්රධාන පුරවැසියාගේ කාර්යාලයේ අනුග්රහයෙන් මෙවැනි සත්යයෙන් තොර විකෘති කරුණු ජනාධිපතිතුමාගේ ප්රකාශයට ආවේ කොහොමද? මේ ගැන අපි හොයලා බලන්න ඕන.
කිසියම් පරිවර්තන දෝෂයක් හරහා එය සිදුව තිබෙනවාද? නැතිනම් නොසැලකිල්ල නිසා එය සිදුවූවාද? ඒ කුමක් වුවත් මේ හේතු එකක් හෝ කිහිපයක් වුවත්, ඒ තුළ ජනාධිපතිවරයාටත් අවමානයක් සහ අපකීර්තියක් සිදුවන බව ඉතාම පැහැදිළියි. පිළිගන්න අකමැති වුවත්, කොතරම් තිත්ත වූවත් ඇත්ත කතාවත් එයයි.
හිතා මතා කරුණු විකෘති කිරීමක්
ඒ අනුව මේ සම්බන්ධව මගේ අදහස වෙන්නෙ, ජනාධිපතිවරයා වෙනුවෙන් මේ වාර්තාව හැදෑරූ සහ ඊට අදාළව විශේෂ ප්රකාශය සකස්කළ   පුද්ගලයන් හිතාමතාම ඉතා සූක්ෂමව කරුණු විකෘති කිරීමක් සිදුකර ඇති බවයි.
මා මේ බව අවධාරණය කරන්නේ හුදු හිතළුවක් ලෙස නොවෙයි. මා මේ කාරණයත් මතු කරන්නේ හේතු ඇතුවයි.
ඒ වගේම මං සඳහන් කරන්න කැමතියි, ජනාධිපතිවරයා විසින් කොමිසම පත්කිරීමට අදාළව නිකුත් කළ අභිනියෝගයට (Mandate)  අනුවත් මේ සඳහන්  කාරනා කොහෙත්ම අදාළ නැති බව. නමුත් මට, අදාළ විමර්ශන වෙනුවෙන්  කොමිසම කැඳවීමක් සිදුකලා. එහිදී යහපාලන සම්මුති ආණ්ඩුවේ නියම උරුමක්කාරයන් ලෙස අපි ඊට සම්පුර්ණ සහය දැක්වුවා.
ඒ වගේම නව දේශපාලන සංස්කෘතියක් ඇති කරමින් කොමිසමේ කටයුතු වලට බලපෑමක් ඇති නොවීම සඳහා මා දැරූ අමාත්යධුරයෙන්ද ඉල්ලා අස්වීමට කටයුතු කළා. ඉන් පසුවත්  මේ දේශපාලන කුමන්ත්රණය තුළ මට එරෙහිව විවිධ මඩ ප්රචාර, මාධ්ය ප්රචාර ලෙස ජනතාව නොමග යවමින් දියත් වුණා.
මම කියපු බොරු මොනවද?
ඒ කොහොම වුනත් දැන් මමත් කැමතියි මම කියපු අසත්ය  සාක්ෂි මොනවාද කියා දැන ගන්න. ඒකට මට අයිතියක් තිබෙනවා.
ගරු කතානායකතුමනි,
මේ විදිහට බලන කොට මේ කොමිෂන් වාර්තාව ඒ වගේම ඒ පදනම් කරගෙන සකස් කරපු ජනාධිපති ප්රකාශය සහ එහි පරිවර්තන තුළ විශාල පරස්පරතාවන් දකින්නට පුළුවන්. එහි මා සම්බන්ධ තැන් වල මා දේශපාලන ගොදුරක් ලෙස ඉලක්ක කර තිබෙනවා. ඒ වගේම ඒ තුළ යම් කුමන්ත්රණකාරී ස්වභාවයක් ඇති බව පැහැදිළි වෙනවා. මෙවැනි කටයුතු තුලින් මෙවැනි කොමිෂන් වෙත තිබිය යුතු විශ්වසනීයත්වය සහ ගරුත්වය කෙලෙසී යනවා. ජනතාව අතර හෑල්ලුවට ලක්වෙනවා.
පසුගිය බැඳුම්කර ගනුදෙනු මඟහැරුණේ කොහොමද?
හරි නම් බැඳුම්කර ගනුදෙනු පිළිබඳව  2008- 2015 කාලය ගැන තමයි  මුලින්ම හොයලා බලන්න ඕන. එහෙම වුණා නම් දේශපාලන තත්ත්වය ගොඩක් වෙනස් වෙන්න ඉඩ තිබුනා. ඒත් දේශපාලන තීන්දුවක් ලෙස 2015-2016 ගැන පමණක් මුලින්ම හොයන්න තීරණය කරලා තියනවා.
අපි වැරදි කරලා නෑ. ඒ නිසා අපි බය නැතුව මේ කොමිසමට මුහුණ දුන්නා. නමුත් ඔබ සියලු දෙනාගේ අවධානය යොමුකළ යුතු කරුණක් තියනවා. ඒ තමයි මේ සිදුවීම ගැන සොයා බලන්න මීට පෙරත් කමිටු පත්කර තිබුණු බව.
1.   පළමුව අගමැතිතුමා පිටිපන කොමිසම පත්කළා
2.   ඉන් පසුව ඩිව් ගුණසේකර මහතා යටතේ කොප් කමිටුවේ මේ පිළිබඳව කරුණු විභාග කළා.
3.   නැවත මේ පිළිබඳව සුප්රීම් උසාවියේ විභාගයක් සිදුවුවා.
4.   පසුව අල්ලස් හෝ දුෂණ කොමිසම හමුවේ නැවත වතාවක් විභාග කෙරුණා.
5.      අනතුරුව සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කොමිටුවෙහි මෙම බැඳුම්කර ගනුදෙනුව පිලිබඳ ව විමර්ශනයක්  සිදුවුණා.
අහක හිටපු මාව පටලවා ගත්තා
ගරු කථානායකතුමනි,
ඉහත ආයතන විවිධ පැතිවලින් මෙම ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණ පැවැත්වූවා. ඒ සියලුම ආයතන කිසිදු  අයුරකින් මගේ නම ඊට සම්බන්ධ කර ගත්තේ නැහැ. මොකද මේ ප්රශ්නය අදාළ විෂය පථය මගේ අමාත්යංශයට අදාළ නොවූ නිසයි. එය ඉතාම පැහැදිළි කාරණයක්.
නමුත් ජනාධිපති කොමිසම හමුවේ පැත්තක තිබු මගේ නම, මේ ගනුදෙනුවට සම්බන්ද කර ගත්තා.
එපමණක් නොවෙයි, මගේ හා මාගේ පවුලේ උදවියවත් ඊට මැදිහත් කරගත්තා. නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් මෙවැනි කොමිසමක ඇසිය නොහැකි, මාගේ පෞද්ගලික ජීවිතයට අදාල ප්රශ්න පවා අසන තැනට පත්ව සිටියා. නීතිපති දෙපාර්තුමේන්තුවේ ගරුකටයුතු නිලධාරීන්ගේ එම හැසිරීම මට එරෙහි මාධ්ය සංදර්ශන බවට පත්වුණා.
ඒ කොහොම නමුත් මට අදාළව කොමිසම සිදුකර තිබෙන අවසන් නිර්දේශය මොකක්ද?  මා කියන කරුණුවල නිවැරදි බව සලකා බලා ඒ අනුව සුදුසු පරිදි කටයුතු කරන්න කියා නේද?
ඒත් ජනාධිපතිවරයාට සකස්කර දුන් ප්රකාශයේ සඳහන් වෙන්නේ මට විරුද්ධව නඩු පවරන්න කියලා.
ගරු කතානායකතුමනි,
මං අහන්න කැමතියි මාස දහයක් තිස්සේ මටත්, මගේ  පවුලේ උදවියටත්, එක්සත් ජාතික පක්ෂයටත් පව්කාරයන් ලෙස සලකා ගල් ගැස්සුවේ මේ ටික කියන්නද කියලා?
මාව පව්කාරයා කරලා, කුරුසය කරේ තියලා, කල්වාරි කන්ද නග්ගන විදිහට මාධ්ය සංදර්ශන පැවැත්වුයේ මේ ටික කියන්නද? ඇත්තටම මේ තුළ සිදුව ඇත්තේ කන්දක් විළිලා මීයෙක් වත් නොවැදු වැනි දෙයක් නොවේද?
කැකිල්ලේ නඩු තීන්දුවක්
නමුත් ගරු කථානායකතුමනි,
දැන් මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? මේ ක්රියාවලියට  කොහෙත්ම සම්බන්ධයක් නොතිබූ  මාව ඊට ගැට ගැසුවා පමණක් නොවෙයි, ඒ ක්රියාවලිය තුළ මා නිවැරදි බව තහවුරු වූ විට  විශේෂ ප්රකාශයක් හරහා නැවත ප්රශ්නයට ගැටගහලා.
කෙටියෙන් කියනවා නම් මේ අවස්ථාව කියන්නෙ මට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ පන්නයේ තීන්දුවක් ලැබී තිබෙන අවස්ථාවක්.
ගරු කතානායකතුමනි,
කොහොම නමුත් එක් දෙයක් පැහැදිළියි. ඒ තමයි, මෙම ක්රියාවලිය සැලසුම් කල උදවියට කොමිසමේ වාර්තාව තුලට ඔවුන්ගේ උවමනාව ඇතුලත් කර ගැනීමට නොහැකි වීම. එහෙමත් නැත්නම් යහපාලනය පෙන්වා යහපාලන සම්මුති ආණ්ඩුවට පහර දෙන්න සැළසුම් කළ අයගේ අපේක්ෂා, කොමිසමේ වාර්තාව නිසා අර්බුදයට ගොස් තිබෙනවා.
එහෙම තියෙද්දිත් මේ ජඩ දේශපාලනය නිසා අදත් අපිට මඩ ගහනවා.
කුමන්ත්රණයේ ඉලක්කය රවීම නොවෙයි !
මං නැවතත් කියනවා. මේක රවී කරුණානායක ඉලක්ක කර සැළසුම් කළ කුමන්ත්රණයක් නෙවෙයි. මෙතැන ඊට වඩා දෙයක් තියනවා. ඒ නිසා තමයි ඔවුන් ජනාධිපතිවරයාගේ ප්රකාශයක් විකෘති කර, තමන්ට අවශ්ය දේ ජනාධිපතිගේ ලෙස ප්රකාශ කරවන්න තරම් අවධානමක් ගත්තේ. නැත්නම් ජනාධිපතිගේ කීර්තිනාමය පවා පරදු තබන්න තරම් ධෛර්යක් ඔවුන්ට ලැබුණේ කොහොමද?
මේ කටයුතු හරහා  මාව දේශපාලනිකව ඝාතනය කිරීමට කවරෙකුට හෝ තිබු උවමනාව ඉතා හොදින් පෙනී යනවා. එසේම එය, අදටත් සිදුවෙනවා.
ඒ වගේම මේ ගනුදෙනුව සම්බන්ධව විවිධ මිත්යා මත පතුරවා  සමාජය නොගම යවා තිබෙනවා. ඒවා සියල්ල  දේශපාලන වාසි ලබාගන්න, මඩ ගහන්න කරපු දේවල් බව මේ කොමිසම හමුවේත් ඔප්පුවී තිබෙනවා.
අප යහපාලන ආණ්ඩුව බිහිකළේ පසුගිය කාලයේ කල මහා පරිමාණ දුෂණ හා වංචා වලට එරෙහිව. ඒ ගැන මෙතෙක් කල පරීක්ෂණ වලට කිසිදු විධිමත් පියවරක් ගෙන නැහැ. ඒ පසුබිමේ එජාපයට සම්බන්ද අය පමණක්  තෝරා ගෙන සාවද්ය  ලෙස පහර දීම, අපි තරයේ හෙලා දකිනවා.
මොකක්ද එජාපය සමඟ ඇති මේ වෛරය?  මෙතැන තමයි කුමන්ත්රණය. මෙයයි ඔවුන්ගේ අපේක්ෂාව. තවමත් තැන තැන තප්පුලමින් ඉන්නේ ඒ සඳහායි.
මං අද අහනවා, රවී කරුණානායක ගැන අද මොකක්ද කියන්න තියෙන්නේ. කොමිසමේ නිර්දේශ ඉතා පැහැදිළියි.
නමුත් තවමත් පැහැදිළි නැති සහ 2015 ජනවාරි 8 ට පෙර දුන් පොරොන්දු ප්‍රකාරව සිදුකල යුතුම පරීක්ෂණ කීයක් තියනවද?
·         හෙජින් ගනුදෙනුව නිසා ලංකාවට අහිමි වූ මුදල් ප්රමාණය රුපියල් මිලියන  96000
·         ශ්රී  ලංකන් අලාභය  රුපියල් මිලියන 146000
·         මිහින් ලංකා අලාභය රුපියල් මිලියන12300
·         ග්රීක් බොන්ඩ් අලාභය රුපියල් මිලියන 3900
·         මත්තල ගුවන් තොටුපල ඉදිකිරීම් වියදම රුපියල් මිලියන 46000
·         නෙලුම් කුලුන  ඉදිකිරීම් වියදම රුපියල් මිලියන 7600
·         ආරක්ෂක මුලස්ථානය ඉදිකිරීම් වියදම රුපියල් මිලියන 64000
·         හම්බන්තොට වරාය ඉදිකිරීම් වියදම රුපියල් මිලියන130000
·         මිග් ගනුදෙනුව  රුපියල් මිලියන 85000
·         පිරමිඩ් ගනුදෙනුව අලාභය   රුපියල් මිලියන11800
කොමිෂන් වාර්තා රැසක් පුස් කයි
ඒ වගේම බරපතල දුෂණ වංචා විමර්ශනය කරන්න පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ අතුරු වාර්තා 34ක් තිබෙනවා. ඇයි ඒ ගැන සද්දයක් නැත්තේ. ඒ පිළිබඳව කිසිදු පියවරක් නොගන්නේ , දේශපාලන හේතු නිසා නොවෙයි නම් වෙන මොන හේතුවක් නිසාද?
ගරු කතානායකතුමනි,
පසුගිය ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයෙදීත් අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා. පසුගිය රජය සමයේ සිදුවූ වංචා දුෂණ සොයා බලා දඬුවම් දෙනවා කියලා ප්රතිඥා දුන්නා. අපි බලයට පත්වුණාම වංචා දුෂණ කරන්නේ නෑ කිව්වා. වංචා දුෂණ  සිදුවීමට හැකි ඉඩකඩ අවුරාලමින් අලුත් නීති රීති ගේනවා කිව්වා.
පසුගිය ආණ්ඩුවේ වංචා දුෂණ සෙවීමේ කටයුතු අපි සෑහෙන දුරට ක්රියාත්මක කර තියනවා. අපේ ආණ්ඩු සමයේ සිදුවුවා යැයි කියන වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිෂන් පවා පත්කර තියනවා. අපේ ආණ්ඩුවටත් හොරකන් කරන්න අදහසක් තිබුණා නම් කෝප් කමිටුවේ සභාපතිධුරය විපක්ෂයට දෙන්නේ නෑ. අනාගතයේ හෝ සිදුවිය හැකි වංචා දුෂණ වැලක්වීමට අවශ්ය නීති සකසමිනුයි අපි ඉන්නෙ.
ගරු කතානායකතුමනි,
මේ රටේ දේශපාලනඥයන්ට නරක ජාතික පුරුද්දක් තියනවා. ඒ තමයි, තමන්ට එරෙහිව කිසියම් චෝදනාවක් එල්ල වුනාම, ජනාධිපති පස්සේ ගිහින් හෝ පක්ෂ නායකයා පස්සේ හැංගිලා ඒ චෝදනාවන්ගෙන් බේරෙන එක. ඒක රාජපක්ෂ පාලනය යටතේත් සිදුවුණා.
අද අපේ අතිගරු ජනාධිපති පස්සෙ හැංගීම නිසා නඩු නැතිව ඉන්න, ඒත්  දුෂණ වංචා වලට නම කියවුණ කීයක් ඉන්නවද? ශ්‍රීලනිපයේ නිසා නඩු නැති කීයක් ඉන්නවද? ඒකාබද්ධ විපක්ෂයේ හිටියත් පක්ෂය බැලන්ස් කරන වැඩේට මුවා වෙලා කී දෙනෙක් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවද? බඩු නෑ කියලා නඩු කීයක් වාෂ්ප වෙන්න යනවද?
ඒ නිසා තවමත් කරන්න ආව දේ නොකර අපේ ඇඟේ එල්ලිලා ගොඩයන්න හදන අයට කියන්න දෙයක් තියනවා. රවී කරුණානායකගේ පොතේ හැංගිලා බේරෙන තියරිය නෑ. ඒ තුට්ටු දෙකේ දේශපාලනය හරහා රටේ අධිකරණයට, සමාජ යුක්තියට වෙට්ටු දාන වැඩ අපි ළඟ නෑ.  ඉස්සරහට කරන්නෙත් නෑ. මොකද හැංගෙන්න ඕන වැරදි කරපු අයයි.
වැඩිය එපා ඔය අද කපුරුහාමිලා වගේ ඉන්න  සමහරු 2015 ජනාවාරි 8 ට පෙර රාජපක්ෂගේ වේදිකාවේ ඉඳගෙන කරපු කතා ටිකක් අහන්න. ඒ එක්ක අද කියන කතා ටිකත් අහන්න. ඔය කපුරු හාමිලගේ වචන විතරයි වැඩ අන්තිමයි.
චිංචිමානවිකාව දර මිටියක් බැඳන් ආව හැටි
ගරු කතානායකතුමනි,
මා වැනි පෘතග්ජන පුද්ගලයෙකුට මෙහෙම දේ සිදුවීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මොකද බුදුරජාණන්වහන්සේටත් මේ වගේ වුණා. එදත් නගරසෝභිනියක් වූ චිංචිමානවිකාවගේ දරමිටියක් බැඳලා එව්වා. නමුත් එදා සක්ර දෙවියන් පැමිණ දර මිටිය ලිහලා බුදුරදුන්ගේ නිරවද්යභාව ඔප්පු කළා.
බැඳුම්කර කොමිසම කියන කතාව  හරි ලස්සනයි. ඒ අය කියනවා මේ ලිහලා පෙන්නපු දර මිටිය, ඇස් ඉදිරිපිට තියන දරමිටිය, ඇත්තටම දරු ගැබක්ද කියලා පරීක්ෂා කරන්න කියලා. දරමිටිය දරු ගැබක් නම් ඊට අදාළ පියාට එය භාරදෙන්න කියනවා. ඒ තල්ලුවෙන් ආණ්ඩුව බිඳ වට්ටන්න මාන බලන අපේ කාලයේ චිංචිමානවිකාවන්  තව දුරටත් ඒ සෙල්ලම ඉස්සරහට ගෙනියන්න හදනවා.
සිරිකොතට ගල් ගහපු පව්කාරයන්
මොන විහිළුවක්ද මේ කරන්නේ. අපේ පක්ෂය, එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න විවිධ කණ්ඩායම් විවිධ අවස්ථා වලදී කටයුතු කරා. තුවක්කුවෙන්, බෝම්බයෙන් , කුමන්ත්රණ වලින් අපේ පක්ෂය විනාශ කරන්න ගත්ත කිසි උත්සාහයක් සාර්ථක වුණේ නෑ. අදත් බෑ. හෙටත් බෑ. අපි ඊට ඉඩ දෙන්නෙත් නෑ. පක්ෂය දෙකඩ කරලා සිරිකොතට ගල් ගහපු පව්කාරයින්ට ඒක කරන්න ඉඩ දෙන්නේ නැති බව මේ රටේ ඉන්න අපේ පාක්ෂිකයෝ හොඳින්ම දන්නවා. ඉත්තෝ හැංගිලා හුන්ගෝ එළියට දාගෙන මේ ඇත්පවුර බිඳින්න හිතනවා නම් ඒවට උත්තර දෙන හැටි පක්ෂය දන්නවා. රාජපක්ෂ සමයේත් එහෙම කරන්න ආව අයට පක්ෂය උත්තර දුන්න හැටි ඔය හැංගිලා ඉන්න ඉත්තන්ට අමතකවෙලා වගෙයි!
ගරු කතානායකතුමනි,
දේශපාලනයින් විදිහට අප ඕනෑම විවේචනයකට ඕනෑම අවලාදයකට, ඕනෑම අපවාදයකට මුහුණ දියයුතුයි. ඊට අපට ශක්තිය තිබිය යුතුයි. ඒත් දේශපාලනයට කිසිඳු සම්බන්ධයක් නැති අපේ දුවා දරුවන්, බිරින්දෑවරු අපහසුතාවයට, වේදනාවට පත්කරන ද්වේශසහගත ප්‍රකාශ ශිෂ්ට සමාජය අනුමත කරන්නේ නෑ.
මේ කුමන්ත්‍රණකාරී මඩ ව්යාපාර නිසා මගේ දියණියන් කොපමණ කම්පනයකට පත්වුවාද? කොතරම් කඳුළු සලන්න ඇතිද? ඒ කඳුළු, ඒ සුසුම් වලට වගකියන්නේ කවුද? කෙසේ වුවත් එවැනි අවලාද ඉදිරියේ හඬා වැලපෙමින් හෝ මට ශක්තියක් දුන් මගේ බිරිඳටත් දරුවන්ටත් අනේක වාරයක් ස්තුතිවන්ත වෙන්න ඕන.
ඒ වගේම මේ අවස්ථාවේදී මට විශාල ශක්තියක් වූ අපේ පක්ෂයේ නායකතුමාටත්, පාක්ෂිකයන් මෙන්ම පාර්ලිමේන්තු සගයන්ටත් , යහපාලන ආණ්ඩුවට ආදරය කරන  මගේ හිත මිතුරන්ටත්, විශේෂයෙන් දිනපතා දුරකථන ඇමතුම් සිය ගණනක් ලබාදෙමින් මා දිරිමත් කල මාගේ හිතවතුන්ටත් මේ අවස්ථාවේ ස්තුති කරනවා.
අවසන් මොහොතේ හෝ මෙහි ඇත්ත තේරුම්ගත් සමාජ මාධ්ය ජාලා ඇතුළු මාධ්ය හිතවතුන් සියලු දෙනාටත් මං ස්තුතිය පුදකරනවා.
ස්තුතියි: 10 වනදා බලාගමු!
එහෙයින්  ගරු කතානායකතුමනි,
මා මතුකළ කාරනා පිලිබඳ ඔබගේ නිසි අවධානය යොමුකොට  මාගේ වරප්රසාද ආරක්ෂා කර දෙන ලෙස ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
කුමන්ත්‍රණකාරයින් පිරිසක් විසින් මා වෙතත් පොදුවේ එක්සත් ජාතික පක්ෂයත් ඉලක්ක කර ගනිමින්  මැතිවරණ සමයේ සිදුකරණු ලැබූ මෙම කුමන්ත්‍රණය නිසා එක්සත් ජාතික පක්ෂයට බලවත් අගතියක් සිදුව තිබෙනවා.  පෙබරවාරි 10 වනදා අපේ පාක්ෂිකයින්, අපේ හිතවතුන්, 2015 ජනවාරි 08 බලවේගයේ සියළු ක්‍රියාකාරීන් ඊට නිසි පිළිතුරු දෙනු නොඅනුමානයි. එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කරනු නියතයි.
අවසන් වශයෙන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මහබැංකු බැඳුම්කර ගනුදෙනු වලදී අක්‍රමිකතාවයක් සිදුව ඇතැයි එල්ලවූ චෝදනා පිලිබඳ සත්ය අසත්යතාව සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරමින් එහි අවසන් වාර්තාව හරහා  අපේ පක්ෂයට එල්ලවූ චෝදනා වලින් නිදොස්කොට නිදහස් කළ, අගමැතිවරයාට එල්ලවූ චෝදනා වලින් එතුමාව නිදොස්කළ, විශේෂයෙන් මා වෙත එල්ලවූ චෝදනා වලින් නිදොස් කල අතිගරු ජනාධිපතිතුමාට මාගේ ස්තුතිය පුද කරමින්, මේ ප්‍රකාශය අවසන් කරනවා.