වර්තමානයේ සුවිසල්ම ජලාශ ව්‍යාපෘතිය
අද සිට මෙගාවොට් 7.9 ක විදුලියද සමග
මොරගහකන්ද ජනතා අයිතියට


ශ්‍රී ලාංකේය වාරි ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් මොරගහකන්ද බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීම ජනාධිපති මෛත්‍රිපාලගේ හා අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරු 11.20 ට මහ සඟරුවනගේ සෙත් පිරිත් සඡ්ඡායනය මධ්‍යයේ සිදුවිය.
 සිනෝහයිඩ්‍රෝ චීන සමාගම විසින්
නිම කරන ලද මොරගහකන්ද ජලාශ

ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිල වශයෙන් භාරගැනීම ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මොරගහකන්ද වේල්ලෙ දී සිදු වූ අතර මෙහිදී මොරගහකන්ද හා කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ වාන් දොරටු විවෘත කිරීම ද ඇරඹිණි.මෙමඟින් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ගොවි ජනතාව වෙත ජලය මුදාහැරේ.
ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ලොකු, කුඩා වැව් 2000 කට අලුත් දියවර ලැබෙන අතර ඒ අනුව වයඹ පළාතේ වැව් 303 කට, උතුරුමැද වැව් 1600 කට ජලය ලැබෙයි. ඊට අමතරව නව ලග්ගල හා මැදිරිගිරිය ප්‍රදේශයේ ඉදිකරන නව නගර හා නව ජනපදවල අලුත් වැව් 48 ක් ද ඉදිකරනු ලැබේ.
දශක හතරකට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මාතලේ, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි ජනතාව බොහෝ කලක් පීඩා විඳි ජල ගැටලුව මඟහරවන්නක් වනු ඇත.
 මෙරට ජාතික විදුලි බල පද්ධතියට මොරගහකන්දෙන් අද සිට මෙගාවොට් 7.9 ක්ද ව්‍යාපෘතියේ අවසන් අදියරේදී මෙගාවොට් 30 ක විදුලි බලයක්ද ලැබෙන අතර ව්‍යාපෘතියේ සියලු ප්‍රතිලාභ අනුව වසරකට අපේ රටට ලැබෙන ආර්ථික වාසිය රුපියල් මිලියන 5,000 ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ.
උත්සවය අවස්ථාවේ වීඩියෝව හා ඡායාරූප කිහිපයක් පහතින්