පළමු වරට වඳුරන් ක්ලෝනකරණයෙන් බිහිවේ
 - ඊළඟට මිනිසා

මිනිසුන් පිටපත් කිරීමේ තාක්ෂණය හෙවත් ක්ලෝනකරණය විද්‍යා ප්‍රබන්ධ කතාවල ජනප්‍රිය තේමාවකි. ජීවිතයේ අනේකවිධ අත්දැකීම් ලබා විවිධ හැකියාවන් දියුණු කරගත් පුද්ගලයකුගේ ශරීරයේ සෛල පිටපත් කිරීමකට ලක්කර තවත් එවැනිම මිනිසෙකු බිහි කළොත් ලෝකයේ ඉදිරි අනාගතය කුමක් වේවිද? හැම රටකටම ඔබාමා වැනි නායකයින්ද ජවන පිටියට විවිධ රටවලින් උසේන් බෝල්ට්ලාද
ඒ අනුව බිහිවනු ඇත.

මේ සම්බන්ධ පර්යේෂණ කාලයක් තිස්සේ ලෝකයේ විවිධ තැන්වල සිදුවන අතර 1996දී ඩොලී නමැති බැටලුවෙකු පිටපත් කිරීමට විද්‍යාඥයින් සමත්වීම නිසා මෙම තාක්ෂණය ආශ්‍රිත පර්යේෂණ පුළුල් විය.
පසුව සුනඛයන්, බළලුන්, ඌරන්, ගවයින් හා පෝනිස් ඇතුළු දුසිම් දෙකක් පමණ ක්ෂීරපායි සතුන් ක්ලෝනය වී ඇති නමුත් වඳුරන් හා මිනිසුන් අයත් කාණ්ඩය ක්ලෝන කිරීමට කිසියම් විද්‍යාත්මක හේතුවක් බාධා එල්ල කර තිබුණි.
කෙසේ වෙතත් එම ගැටලුව විසඳමින් චීන ජාතික පර්යේෂක කණ්ඩායමක් සාර්ථක ලෙස වඳුරන් ක්ලෝනකරණයට සමත්වූ බව ඊයේ (24) ඒපී පුවත් සේවා වාර්තාවක් මගින් තහවුරු කර තිබේ. ඒ අනුව ඊළඟට මිනිසුන් ක්ලෝනකරණය අරඹනු හැකි බවට විශ්මිත බලාපොරොත්තුවක් උදාවී තිබේ.
හොංකොංහි පිහිටා ඇති චීන විද්‍යා ඇකඩමියේ වෛද්‍ය මුමින්ග් පූ ඇතුළු කණ්ඩායම මෙම සමත්කම පෙන්වා තිබේ.
ඔවුන් බිහිකළ වඳුරු පැටවුන් දෙදෙනා සොන්ග් සොන්ග් හා හුවා හුවා ලෙස නම් තබා තිබේ.
උන් සුවෙන් වැඩෙන බවද දන්වා ඇති වෛද්‍ය පූ මෙම පර්යේෂණය 1996දී ඩොලී බැටළුවා ලබාගත් ක්‍රමය වැඩිදියුණු කර සාර්ථක කරගත් බව දන්වා සිටී. මෙයවඩා වැදගත්වන්නේ සෞඛ්‍ය ගැටලු නිරාකරණයට මෙමගින් ලැබෙන පිටුබලය බවද දක්වා තිබේ. ඔවුන් විශ්වාස කරන්නේ මෙම තාක්ෂණය ඔස්සේ අනාගතයේ පාරම්පරිකව පෙළන ලෙඩ රෝග වලින් මිදුණ නිරෝගී සත්වයින් බිහිකිරීමේ විශ්මිත හැකියාව උදාකරගන්නට හැකිවනු ඇති  බවයි.
කෙසේ වෙතත් සතුන් හා මිනිසුන් ක්ලෝන කරණය පිළිබඳ විවිධ මත ලෝකයේ විවිධ රටවල තිබෙන අතර එහි අහිතකර බව ගැන මෙන්ම වාසිදායි තත්වය ගැනද අදහස් පළ ව තිබේ.
මිනිසුන් ක්ලෝනකරනය සදාචාරාත්මක නොවන බව දක්වමින් ඇතැම් රටවල පර්යේෂණ පවා තහනමට ලක්ව ඇත.