අලුතින් නිකුත් වූ පොතකින්
ට්‍රම්ප්ගේ පවුල් අවුල් කරලියට​

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කේන්ද්‍ර කරගෙන පළවූ ෆයර් ඇන්ඩ් ෆියුරි නම් නවතම ග්‍රන්ථයකින් ට්‍රම්ප් පිළිබඳ කරුණු ගණනාවක් හෙළි කරනු ලැබ තිබෙනවා.

ඇමරිකානු ජනමාධ්‍යවේදියකු වන මයිකල් වුල්ෆ් විසින් ලියන ලද මෙම කෘතියට පාදක කරගෙන ඇත්තේ ට්‍රම්ප් ඇතුලුව ධවල මන්දිරයේ සේවය කළ 200 ක පමණ පිරිසක සමඟ කරන ලද
සම්මුඛ සාකච්ඡායි.

මෙහිදී ට්‍රම්ප්ගේ ඡන්ද ව්‍යාපාරය රුසියාව සමඟ තිබුණු සබඳතා, ට්‍රම්ප්ගේ විදෙස් සබඳතා ආදිය පිළිබඳව පමණක් නොව ඔහුගේ පවුලේ තොරතුරු ද හෙළි කර තිබෙනවා.

මෙම පොතට අනුව ට්‍රම්ප් පුද්ගලික ජීවිතයේදී තනි වූ පුද්ගලයකු වනවා. ඔහුගේ විවාහයන් තුනෙන්ම ලැබුණ

දරුවන් අතරින් ඉවන්කා ට්‍රම්ප් සමඟ හැරුණ විට කිසිදු අයකු සමඟ ඔහුගේ සබඳතාවක් නැති තරම්.

ඉවන්කා සමඟ ඇත්තේද තනිකරම "ව්‍යාපාරික​" සබඳතාවක් බවයි වුල්ෆ් සිය ග්‍රන්ථයෙන් කියා සිටින්නේ. ඇය සහ ඇගේ සැමියා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේ වැදගත් කාර්ය භාරයක් ඉටු කළා. තව ද ඇගේ සැමියා වන ජරෙඩ් කුෂ්නර් ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශකයකු ලෙස නිල වශයෙන් කටයුතු කරනවා.

වුල්ෆ්ගේ කෘතිය මගින් තවදුරටත් සඳහන් කරන්නේ ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ අතර ඇත්තේ දුරස් සම්බන්ධතාවක් බවයි. ජනාධිපතිවරණයෙන් පසු ධවල මන්දිරයේ පදිංචියට යන තෙක් ගතවූ මාස දෙකහමාරක කාළය තුළ ඔවුන් එකම මන්දිරයේ (ට්‍රම්ප් ටවර්) ජීවත් වුවද හමු වූයේ ඉතා අඩුවෙන් බවයි වුල්ෆ් හෙළි කරන්නේ.

තවද ට්‍රම්ප් ජනාධිපතිවරණ සටනට පැමිණීමට පෙර ගතවූ කාළය තුළ පොදු කටයුතුවලින් ඈත්ව සිටි මෙලානියා සිය ජීවන ක්‍රමයේ වූ වෙනස්කම් නිසා අපහසුතාවට පත්වූ බව කියනු ලබනවා. ජනාධිපතිවරණ ප්‍රතිඵල එන විට​, තවදුරටත් පොදු කටයුතුවලින් ඈත්ව සිටීමේ නොහැකියාව පිළිබඳ සිතමින් ඇය වැලපුණ බව වුල්ෆ් හෙළි කරනවා.