‘දම්පාටින් ළා සඳ බැස යනවා‘ - ගී රස විමසුම

නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පී යුවළක් වන ගුණදාස කපුගේ සහ මාලනී බුලත්සිංහල ගායනා කළ ‘දම්පාටින් ළා සඳ බැසයනවා ආකාසේ රන්වන් පාටයි‘ ගීතයේ අරුත ගැන කාලයක් තිස්සේ විවිධ සංවාද පැන නැගුණා. ඇතැමුන් කියා සිටියේ මෙම ගීතය ගණිකා ඇසුරකට ගිය පිරිමියෙකු රාත්‍රිය දික් කරගන්නට තිබෙන
ලෝලත්වය ඉඟි කරන ලද ගීයක් බවටයි.
ළා සඳ දම්පාටට උපමා කරන පදවැල් සාහිත්‍යය තුළ ඉතාම විරලයි. සඳ බැස යන වෙලාව හා ආකාසය රන්වන් පාටක් ගන්නා මේ මොහොත රාත්‍රිය අහවර වෙන උදේ පාන්දර වේලාවක් බවත් එළිවනතුරු පෙම් සුව විඳි යුවළක මේ ගීය ගයන්නට ඇති බවත් ගීතය ගැන අදහස් දැක්වූවන් පවසා තිබුණා.
‘දම්පාටින් සඳ මුහුණ පෙනෙනවා -වෙන් වෙන මොහොතක් නොහැගේ‘ යන පද පේළියත්
‘නෙළුම් පතක රැදී පිනි බිදුවක් සේ ළමැද තලා යහනේ ඉන්නම් - පමා වෙලා හිරු නැගෙන තුරා‘
වැකියත් මෙම දෙදෙනා අතර සමීප ශාරීරික සම්බන්ධයක් හා ශෘංගාරාත්මක සිතිවිල්ලක් ජනිත කරවනවා.
මේ ඔස්සේ ගීතය අරුත් ගන්වන්නට උත්සාහ කළ අය මේ ගණිකා ඇසුරක් යයි අර්ථ දක්වා තිබුණා. තමන් දන්නා හඳුනන කෙනෙකු රෑ එළිවනතුරු මේ ආකාරයට එළිමහනක මුණ ගැහෙන්න තිබෙන සීමා කම් මත එය පෙම්වතුන් දෙදෙනෙකුගේ සිතිවිලිවලට එහා දිව යන්නක් බවද ඒ අනුව විස්තර වුණා.

කෙසේ වෙතත් මෙම ගීතයට වස්තුවුණ නිධාන කතාව වෙනත් එකක්. ගීතයේ පද රචනාව කළ ප්‍රවීණ ගීත රචක ලූෂන් බුලත්සිංහල වරක් මෙම ගීතය ලියන්නට පසුබිම් වූ කතාව හෙළිදරව් කර තිබුණා. ඔහු පවසන පරිදි මෙය ඔහුගේ ඇත්ත ජීවන අත්දැකීමක් ඇසුරින් රචනාවී තිබෙනවා.
ලූෂන් පාසලේ උසස් පෙළ හදාරන සමයේ ගොඩනැගුණ ප්‍රේම කතාවක් මෙයට පසුබිම් වී තිබෙනවා. ඔහු සැබෑ ලෙසම ආදරය කළ ඇයත් ඔහුගේම වයසේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක්. උසස් පෙළ විභාගයෙන් දෙදෙනාම ඉහළින් සමත් වුණා. සරසවි වරමද දෙදෙනාටම ලැබුණා. නමුත් ඇගේ විෂය ධාරාව අනුව ඇය තේරුනේ කොළඹ විශ්ව විද්‍යාලයට. ඔහු තේරුනේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට.එම කාරණාව මත දෙදෙනාට පෙර මෙන් එකට හමුවීමේ අවස්ථාව විරල වුණා. සරසවි දෙකේ දිශාවන් දෙකකට දෙදෙනාට යන්නට සිදුවුණා.

එය මේ කාලයේ මෙන් සන්නිවේදන විකල්ප ක්‍රම පැවති යුගයක් නොවේ. පැමිණ මුණගැසීම හෝ තැපැලෙන් ලියුම් යැවීම හැරෙන්නට පෙම්වතුන්ට සන්නිවේදනයට වෙනත් අවස්ථා එකල විරල වුණා.
මෙම වෙන්කිරීම මත ඔවුන්ගේ ප්‍රේමය පවත්වා යන්නටත් අපහසු වන බව දෙදෙනාටම දැනුණා. ඒ නිසා එක් දවසක් මහ රෑ එළිවනතුරු ඔවුන්ගේ සමුගැනීමේ හමුව කාටත් රහසේ සිදුවුණා. මෙම සමුගැනීම දෙදෙනාටම වේදනාකාරී වුවත් මොනවා කරන්නද? දෙදෙනා වෙන්ව යායුතුයි.
‘සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි..‘ ඇය ඔහුගෙන් ඇසුවා.
‘දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන් වෙන මොහොතක් නොහැගේ

දැසට ලංව තවත් මේ මොහොතේ ගොළු වී ඉන්නෙමි මම්.‘ ඔහු උත්තර දුන්නා.
අස්ථාවර පෙම් කතාවේ නිමාවන ලකුණු දෙදෙනාටම දැනී තිබුණා. තවදුරටත් පවත්වාගන්නට අපහසු සෙවනැලි බඳු මතක දෙදෙනාටම ඉතිරි වුණා.
‘සෙවනැළි නොමැකේ නම් එළිය කළු නොවේ නම් බිත්ති පුරා ඔබේ සෙවනැළි ඇන්දේ තනිය මකා ගන්නයි
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා‘
පෙම්වතා ඇයගේ පහස තවදුරටත් පෙරුම් පුරනවා. නමුත් වේලාව මදියි.
රැ කල දිගුවේ නම් ලා සඳ නොමැකේ නම් නෙළුම් පතක රැදී පිනි බිදුවක් සේ ළමැද තලා යහනේ ඉන්නම්
පමා වෙලා හිරු නැගෙන තුරා.. ඔහුගේ අවසන් ප්‍රාර්ථනාව වුණා.

මේ ආකාරයට සමුගත් මේ සැබෑ පෙම්වතුන් දෙදෙන යළි එක් නොවූ බව ලූෂන් කියා තිබුණා. වෙනත් ප්‍රේමයකට හා විවාහයකට පසුව තමා යොමු වුවත් පසු කලෙක ඒ කතාව ගීතයක නිමිත්තක් වී ගායනාවක් තුළින් ඈ අමතා ඒ සමුගැනීමේ සිතිවිලි හුවමාරු කරගන්නට ඔහුට හැකිවූ බව ඔහු අවසාන වශයෙන් කියා තිබුණා.

මෙම ගීතය සංගීතවත් කළේ ඔස්ටින් මුණසිංහයන්ය. ගීතයේ සම්පූර්ණ පද පෙළ පහත පරිදිය.

දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි..//

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන් වෙන මොහොතක් නොහැගේ
දැසට ලංව තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මම්..//

සෙවනැළි නොමැකේ නම් එළිය කළු නොවේ නම් //
බිත්ති පුරා ඔබේ සෙවනැළි ඇන්දේ තනිය මකා ගන්නයි
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා

දම් පාටින් ....

රැ කල දිගුවේ නම් ලා සඳ නොමැකේ නම් //
නෙළුම් පතක රැදී පිනි බිදුවක් සේ ලමැද තලා යහනේ ඉන්නම්
පමා වෙලා හිරු නැගෙන තුරා

දම් පාටින් ....

මෙම අලංකාර ගීතය කපුගේ සහ මාලිනී එදා ගායනා කළේ මේ අයුරින්