සිංහල 'එඩේරමුල්ල'
මුස්ලිම් 'අක්බාර් ටවුන්'
නම මාරු කරපු කතාවේ ඇත්ත නැත්ත



ගැසට් නිවේදනයක් මගින් සිංහල නගරයක් මුස්ලිම් නමකට හරවන ලද බවත් ඒ සම්බන්ධයෙන් විරෝධතා පැන නැගී ඇති බවත් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ කුපිත කරවනසුලු පුවතකින් අනාවරණය කර තිබුණි. සංහිඳියාවට මුවාවී සුළු ජන කොටස් මේ ආණ්ඩුවෙන් වාසි ගන්නා බවද සිංහලයන්ට තැනක් නැතිවී යන බවද එහිදී විස්තර කර තිබුණි.
මහර ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් ‘එඩේරමුල්ල’ නගරය අක්බාර් ටවුන් ලෙස වෙනස් කිරීම මෙම අලංකලංචියට මුලයි. එම ආකාරයේ වෙනසක් සිදුව ඇති බව ඇත්තකි .නමුත් එය අර්ථ දක්වා තිබෙන ආකාරයේ
දෝෂ පවතී. අක්බාර් ටවුන් යන ප්‍රදේශය එඩේරමුල්ලට යාබද නගරයයි. සිංහල පිරිස් මෙන්ම මුස්ලිම් පිරිස් අඩුවැඩි වශයෙන් මේ නගර දෙක ආසන්නයේ මිශ්‍රව වාසය කරති. පළාත් පාලන මැතිවරණය මුල් කරගෙන පසුගියදා පළාත් සීමා නිර්ණය කිරීම දිවයින පුරා සිද්ධ කරන ලද්දේ විවිධ ගම් නගර වල මායිම් සංශෝධනයට ලක් කරමිනි. එහි ප්‍රතිඵල මත ඇතැම් ඓතිහාසික නගරවල පැරණි සීමාවන්ද වෙනස්වූ අතර ඇතැම් තැන්වල වෙනස්කම් ගැන ඒඒ ප්‍රදේශවල ජනතාව නොසතුට පළ කළ අවස්ථාද තිබුණි.


එඩේරමුල්ල අක්බාර් ටවුන් එකට අයත්ව ගොස් ඇත්තේද මෙම ක්‍රියාදාමය මතය. මෙහිදී එඩේරමුල්ල බල ප්‍රදේශය නැගෙනහිර හා දකුණ ලෙස කොටස් දෙකකට වෙන් කොට ඊට අක්බාර් ටවුන් ප්‍රදේශය ද ඒකාබද්ධ කර ඇති අතර ඒ සමගම එම නාමය අක්බාර් ටවුන් ලෙස නම් කිරීමට පියවර ගෙන තිබුණි.
එඩේරමුල්ල ග්‍රාමයට එම නම ලැබුණේ එවකට රජකළ කැලණිතිස්ස රජතුමාගේ ගවයන් බලාගත් එඩේරුන් පදිංචිව සිටි නිසාය. ගවයන් නාන්නටත්, කැම කන්නටත් ගොස් ඇත්තේ ආසන්නයේ පිහිටි ගොංගිංතොට ප්‍රදේශයටය.  අක්බාර් ටවුන් වෙත නාමය ලැබුණේ එම ප්‍රදේශයේ ජීවත් වූ අක්බාර් නමැති මුස්ලිම් ජාතිකයකු සිහිවීම පිණිසය. ඔහු ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රධාන පෙලේ ධානපතියකු වූ බවත් ඔහු සෑම ජනවර්ගයක්ම සමග සුහද ලෙස ජිවත් වූ බවත් එඩේරමුල්ල වැසියන් පවසා තිබේ.

 අක්බාර් ටවුන්  නම් කිරීම ගැන එරෙඩ්රමුල්ල ප්‍රදේශයේ ජනතාව පසුගියදා නොසන්සුන්තාවක් දැක්වූ නමුත් කරුනු පැහැදිලි කිරීමෙන් පසු සීමා නිර්ණයේ පවතින දෝෂ තත්වයන් ඉදිරියේදී වෙනස් කර දෙන්නට බලධාරීන් පොරොන්දුවීමෙන් පසු එම ගැටලුව සාමකාමීව විසඳා ගෙන තිබෙන නිසා සියලුදෙනා මේ වන විට සාමාකාමීව ජීවත් වෙති. එඩේරමුල්ල ප්‍රදේශයේ පවුල් 7000ක් පමණ ජීවත් වෙති.

සිංහල, මුස්ලිම්, හා කතෝලික බැතිමතුන් වසර ගණනාවක සිට සහයෝගයෙන් ජීවත් වූ අය වෙති.
මේ ගැන අදහස් දැක්වූ එඩේරමුල්ල වැසියෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පවසා  ඇත.
 'දැන් ජනතාව අතර වෙනදා තිබුණු සහයෝගයම පවතිනවා. එසේ නොකළහොත් විශාල ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්.. මේ නම වෙනස් කිරීමට සිංහල අය විතරක් නෙමේ එඩේරමුල්ලෙ පදිංචිව සිටින බහුතර මුස්ලිම් ජනතාවත් විරුද්ධයි. අපි දන්නවා බොහෝ මුස්ලිම් ජනතාවක් අක්බාර් ටවුන් කියන එකට විරුද්ධයි. මොකද අක්බාර් ටවුන් එකේ බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙව්ව පිරිසක් ඉන්නේ.
පිට අය ඒ නම ඇහුවම වැරදි ආකල්පයකින් බලන්නේ.

ඒක නිසා ඒ නම දානවට කවුරුත් කැමති නැහැ. මිනිස්සු කලබල වුණා. ඒක සාධාරණයි. ඒක බලධාරීන් තේරුම් ගන්න ඕනෑ. නැති ප්‍රශ්නයක් තමයි ඇති වුණේ. කවදාවත් මෙහෙම ප්‍රග්නයක් තිබුණේ නැහැ.  1989 වසරේ එඩේරමුල්ල උතුර කොට්ඨාසය අක්බාර් ටවුන් කළා.

2015 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනයේ තිබෙන්නේ පින්නමැද බටහිර හා නැගෙනහිර වශයෙන්. එඩේරමුල්ල නැගෙනහිර, බටහිර, අක්බාර් ටවුන් එකයි ඒකාබද්ධ කළා. මේ කොට්ඨාස තුන ඒකාබද්ධ කරලා වෙනමම කොට්ඨාසයක් ලෙස නම් කළා. පසුව නැවත  පින්නමැද කොට්ඨාසය වසම් දෙකක් බවට වෙන්කළා. ඒකට තමයි එඩේරමුල්ල කියලා නම් කෙරුණේ, එඩේරමුල්ල කොට්ඨාස තුනක් තියෙන නිසා තමයි එක ප්‍රදේශයකට එඬේරමුල්ල කියලා නම් කෙරුණේ. වරදක් වෙලා තිබෙන්නේ මම දකින විදියට අන්න එතැනයි.
සීමා නිර්ණ කොමිසන් සභාවෙන් වෙන් කළාට පස්සේ තමයි මේ තත්ත්වය ඇති වුණේ. මුලින්ම අපිත් බය වුණා කවුරු හරි කෙනෙකුගේ බලපෑම මත නම වෙනස් කළා කියලා. නමුත් එහෙම දෙයක් වුණේ නැහැ. මේක ජාතීන් අතර ඇතිවූ ප්‍රශ්නයක් නොවෙයි. ඇතැම් අය ඒවගේ තත්ත්වයක් මවා පාන්න උත්සාහ කරා.
මේ සඳහා විෂය බාර අමාත්‍යවරයා පොරොන්දු වෙලා තිබෙනවා කියලා අපට ආරංචියි. මේ තත්ත්වය වෙනස් කරන බවට. '