හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් 'පොහොට්ටුවෙන්' මැතිවරණයට ඉදිරිපත් වී සිටින වෙලාවේ රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් සමඟ එතුමන්ගේ පරණ ඡන්ද ලකුණ වූ බුලත් කොළය එකට තිබෙන පෝස්ටර් ඇලවීමෙන් ජනතාව නොමඟ යවන ඉතාම නින්දිත වෑයමක ශ්‍රී ලංකා නිදහස්

පක්ෂය යෙදී සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය.
ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (27දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. මන්ත්‍රිවරයා මෙසේද කීවේය.
ඒ වගේම මේ දිනවල

අපේ ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතික වස්තුවක් බවට පත්වෙලා. හැමෝම හොර කසාද සහතික ඉදිරිපත් කරමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාව අයිති කරගන්න උත්සාහ කරනවා.

මහින්ද රාජපක්ෂ මැතිතුමාට පසුගිය කාලේ පතුරු යන්න බැන බැන හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද තීරණය කර තියෙනවා, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡායාරූපයයි බුලත් කොළයයි ඇති පෝස්ටර් රටපුරා අලවන්න. ඒක ජනතාව අතිශයින්ම නොමඟ යවන පෝස්ටරයක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙවෙයි මහින්ද මහත්තයාගේ ඡායාරූපය, ස්වාධීන කණ්ඩායම් ගණනාවක්ම තමන්ගේ පෝස්ටර් සඳහා යොදාගෙන තිබෙනවා. ඒ පෝස්ටර්වල අපූරු වැකි තිබෙනවා.

කවුරු මොනවා කිව්වත් මහින්ද මැතිතුමාව නියෝජනය කරන්නේ පොහොට්ටුවම පමණයි. ඒ නිසා ඡන්ද පත්‍රිකාවේ උඩින් බුලත් කොළ වගේම අත තිබෙනවා. ඒවා නොදැක්කා වගේ පසුකර මහින්ද රාජපක්ෂ මහතාට හිමි පොහොට්ටුවට ඡන්දය පාවිච්චි කරන්න. එහෙම කළොත් විතරමයි මේ ආණ්ඩුවේ විනාශකාරී ගමන්මඟට මේ රටේ ජනතාවගේ ඇති විරෝධය රටටත් ලෝකයටත්, ආණ්ඩුවටත් දැනුම් දීමේ අවස්ථාව තියෙන්නේ.