නත්තල උදාවට පෙර 
හදිසියේ සමුගත්
ආනන්දයේ උසස්පෙළ සිසුන් දෙදෙනා


පසුගිය නත්තල උදාවන්න පැය කිහිපයකට පෙර 24දා රාත්‍රියේ ගණේමුල්ල කොස්සින්න පාර හරහා යතුරුපැදියකින් ගමන් කරමින් තිබූ කතරගම වන්දනාවේ ගොස් ආපසු එමින් තිබූ බස් රථයක යතුරු පැදියක් හැපීම නිසා අනතුරක් සිදු විය. මෙම අනතුර නිසා යතුරු පැදියේ ගමන් කරමින් සිටි පාසල් සිසුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් විය.
කොළඹ ආනන්ද විදුහලේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු වූ ඉඹුල්ගොඩ ලක්ෂාන් බණ්ඩාර සහ ඉහළ බියන්විල තුරුණු දසුන්ප්‍රිය  බමුණුසිංහ යන පාසල් සිසුන්
දෙදෙනා මෙලෙස මියගොස් තිබිණි.
 ලක්ෂාන් බණ්ඩාරගේ පියා වන බණ්ඩාර වීරසිංහ මහතා මෙසේ කීවේය.

මගේ පුතා චිත්‍ර අඳින්නට හරිම දක්ෂයි. අධ්‍යාපනයට දක්ෂයි. ඉඹුල්ගොඩ සුනේත්‍රාදේවි විදුහලින් ශිෂ්‍යත්වය සමත් වී කැලණිය ගුරුකුලයට තේරී 11 වසරේදී කොළඹ ආනන්ද විදුහලට තේරුණා. පුතා ඉක්මනින් යතුරුපැදි පදින්න ඉගෙන ගත්තා.

පුතා ඉතා වේගයෙන් බයික් පදින්න ආසයි. මම එයාට සීමාව කීවා. පුතාට මම වැඩිය තරවටු කළේ නෑ. හොඳ ළමයෙක් නිසා මම හොඳින් තේරුම් කර දුන්නා. පුතාට යාළුවෝ 20ක් විතර ඉන්නවා. පුතාත් එක්ක මියගිය යාළුවා එයාගේ හොඳම යාළුවායි. එදා සවස උපන්දින උත්සවයකට යනවා කියලා ගියේ. කැබ් එකේ ගිහින් මඟදී යාළුවාගේ බයික් එකට නැඟලා තියෙන්නේ ආපහු ගෙදර එන්න.

ඒ එන ගමන් තමයි අනතුර වෙලා තියෙන්නේ. පුතා එක්ක ගිය බයික් එක පැදවූ අනෙක් යාළුවාත් වේගයෙන් බයික් පැදීමට ආස යාළුවෙක්. බයික් එක වැදුණට පස්සේ මගේ පුතාව ටික දුරක් බස් එකෙන් ඇදගෙන ගිහින් තියෙනවා කියලා මට තේරුණා.
මෙම අනතුරින් මියගිය තුරුණු දසුන්ප්‍රිය නයනජිත් සිසුවාගේ  පියා වන ව්‍යාපාරික ඩයස් බමුණුසිංහ මෙසේ කීය.
පුතා වැලිපිල්ලෑව ජයකොඩි විදුහලේ මූලික අධ්‍යාපනය ලබා විද්‍යාලෝක විදුහලේ ඉගෙන ගෙන සාමාන්‍ය පෙළ සමත් වී කොළඹ ආනන්ද විදුහලේ තාක්ෂණ විද්‍යා අංශයේ ඉගෙනුම ලබමින් හිටියා.

විද්‍යාලෝක විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායක වෙලත් හිටියා. සංගීතයට, ඡායාරූප ශිල්පයට, පරිගණක අංශයට පුතා දක්ෂයි. ගෙදර තිබුණු මයිනර් කාර් එකක් කොම්පියුටර් තාක්ෂණයෙන් ධාවනය කිරීමේ පර්යේෂණයක් පුතා මේ දවස්වල කර කර හිටියා.
ඔය අනතුර වූ දවසේ සවස 6.30ට පුතා අපිත්

එක්ක නවගමු දේවාලේ ගිහින් පූජාවකට සහභාගි වෙලා පුතාගේ අතින්ම පූජා වට්ටිය පූජා කළා. ආපහු එද්දී මේ දෙසැම්බර් 31දා රෑ 11.59න් පස්සේ ලැට් එකට ගියොත් ආපසු එන්න වෙන්නේ නෑ කියලා පුතා මල්ලිට කියනවා මට ඇහුණා. පුතාගේ හඳහනේවත් මාරක අපල තියෙනවා කියලා තිබුණේ නෑ. ඉහළට ඉගෙන ගන්නවා කියලයි තිබුණේ.

පුතාගේ අනාගත බලාපොරොත්තුව තිබුණේ ඉන්ජිනේරුවෙක් වෙන්නයි. පුතා සමඟ බයික් එකේ ආ අනෙක් යාළුවා වැටුණාම බස් එකෙන් ටික දුරක් ඇදගෙන ගිහින් තියෙනවා කියලා ආරංචි වුණා. මගේ රත්තරන් පුතා අපට නැතිවුණා'

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ කළ ගණේමුල්ල පොලිසියේ රථ වාහන අංශ ස්ථානාධිපති පො.ප. අරුණ කුමාර සහ පො. කො. මාධව (84556) යන මහත්වරු කීවේ කඩතොලු සහිත මාර්ගයේ යතුරුපැදිය පාලනය කරගත නොහැකි වීම නිසා මෙම අනතුර සිදුවී ඇති බවයි. බස් රථයේ රියැදුරු වන ප්‍රසන්න වික්‍රමසිංහ යන සැකකරු ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් 2දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

නයනජිත්ගේ අවසන් කටයුතු 28 බ්‍රහස්පතින්දා සවස හොරගහකන්ද සුසාන භූමියේදී ද, ලක්ෂාන්ගේ අවසන් කටයුතු 27 බදාදා පහළ ඉඹුල්ගොඩ සුසාන භූමියේදී ද සිදු කෙරේ.

ගම්පහ - කේ. ඒ. සිසිර කුමාර