දූෂණ සහ වංචා නඩු විමර්ශනය කිරීම සඳහා නව මහාධිකරණ 3ක් පිහිටුවා ඒ සෑම මහාධිකරණයක් සඳහා විනිශ්චයකාරවරුන් තිදෙනකු පත් කළ යුතු යැයි ඊයේ (15දා) දහවල් සිරිකොත එජාප මූලස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවක් ඒකමතිකව සම්මත විය.

එමෙන්ම දූෂණ විරෝධී ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ට එරෙහිව දඬුවම් පැමිණවීම කඩිනම් කිරීම සඳහා මහාධිකරණයේ තීන්දු සඳහා ඍජුවම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කළ හැකි පරිදි නීති සංශෝධනය කිරීමටත්, නීතිපතිවරයාට වගකියන නඩු පැවැරීමේ ඒකකයක් ස්ථාපිත කිරීමටත් ඉදිරිපත් වූ යෝජනා දෙකක්ද ඒකමතිකව සම්මත විය.
ඉදිරි පළාත් පාලන මැතිවරණ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව දූෂණ හා වංචා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විසින් විමර්ශන නිමකොට ඇති පරීක්ෂණ 92ක්ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන නිම කර ඇති

පරීක්ෂණ 25ක් සම්බන්ධ ලිපිගොනු නීතිපතිවරයාට යවා ඇතත් මෙතෙක් නඩු පවරා ඇත්තේ සිද්ධීන් 13කට පමණක් බැවින් නඩු පැවැරීමේ ප්‍රමාදය පිළිබඳව එජාප පසු පෙළ මන්ත්‍රිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන්ද අගමැතිවරයාගේ අවධානය යොමු කරනු ලැබ තිබේ.

එමෙන්ම දූෂණ හා වංචා පිළිබඳව සහ පැහැර ගැනීම්, අතුරුදන් කිරීම් සහ පුද්ගල ඝාතන පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණ හා ඊට අදාළ නඩු පැවැරීම් පිළිබඳ ප්‍රගතිය මසකට වරක් කෘත්‍යාධිකාරි මණ්ඩලයට වාර්තා කිරීම සඳහා අනු කමිටුවක් පත් කළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවක්ද ඒකමතිකව සභා සම්මත විය.
හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මෙම දූෂණ වංචා සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවැරීම ප්‍රමාද කළ බවට මැති ඇමැතිවරු ගණනාවක් චෝදනා එල්ල කළහ.

එහිදී කරුණු දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහාධිකරණයේ නඩුවක් විභාග කර අවසන් කිරීමට වසර 10කට අධික කාලයක් ගතවන බවත් නඩු පැවැරීම ප්‍රමාදවීමට හේතුව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාණවත් රජයේ අධිනීතිඥයන් නොමැතිවීම බවයි. දැනට සිටින අධි නීතිඥයන් 118ට අමතරව අලුතෙන් අධි නීතිඥයන් 100ක් ජනවාරි මාසයේදී බඳවාගෙන ඔවුන්ට ගෙවන වැටුප දෙගුණ කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කෙළේය.

දූෂණ, වංචා සහ අපරාධ සම්බන්ධයෙන් වූ විමර්ශනවලට අදාළ පුද්ගලයන්ට තරාතිරම නොබලා නඩු පැවැරීම හා එම නඩු කඩිනමින් අවසන් කිරීම එජාපයේ අරමුණ බවද හෙතෙම පැවැසුවේය.

උපතිස්ස පෙරේරා,
ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර