සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර නාග්පූර් හීදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය නිමාවන විට ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 384ක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 21ක් රැස් කරගෙන සිටී. ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 405ක් පසුපසින් සිට දෙවන
ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස සධීර සමරවික්‍රම ඉනිමේ දෙවන පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගියේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ සිත් තුළින් ඉවත් කරමිනි.


ශ්‍රී ලංකා පළමු ඉනිමට ලබාගත් ලකුණු 205ට පිළිතුරු ලෙස ඉන්දීය පිතිකරුවන් තම පළමු ඉනිමට පන්දුවාර 176යි එක් පන්දුවකදී කඩුලු 6ක් දැවී ලකුණු 610ක් ලබා සිටියදී තේ පැන් පානයෙන් පසු ඉනිම අත්හිටුවීය. ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 7ක් තුළ බිඳවැටුණද දෙවන කඩුල්ලට ලකුණු 209ක විශිෂ්ට සබඳතාවක් ගොඩනඟන්නට මුරලි විජේ සහ චෙතස්වර් පුජාරා සමත් වූ අතර තෙවන කඩුල්ලට ලකුණු 183ක එවන්ම සබඳතාවක් ගොඩනඟන්නට පුජාරා හා නායක විරාත් කෝලි සමත් විය. මුරලි විජේ තම 10 වැනි ශතකය වාර්තා කොට ලකුණු 128කටත් පුජාරා ඔහුගේ 14 වැනි ටෙස්ට් ශතකය ලෙසින් ලකුණු 143කටත් දැවීගියේය. 4වන කඩුල්ලේ සබඳතාවය ලකුණු 11කට සීමා වුවත් 5වන කඩුල්ලට ලකුණු 173ක් එක් කිරීමට රෝහිත් ශර්මා සහ විරාත් කෝලි සමත් විය. විරාත් කෝලි තම 5 වැනි ද්විත්ව ශතකය වාර්තා කොට ලකුණු 213කට දැවී ගිය අතර රෝහිත් ශර්මා නොදැවී ලකුණු 102ක් රැස් කර සිටියේය.

තරගයේ පළමු දිනයේදී (24දා) කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස ලකුණු 13ක් රැස් කරගෙන සිටි සධීර සමරවික්‍රම ඉෂාන් ශර්මාගේ පන්දුවකට ස්ලිප් හී පන්දු රකිමින් සිටි පුජාරාට උඩ පන්දුවක් ලබා දීමෙන් දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු සටහන ලකුණු 20ක් විය.

ඉන්පසු පිටියට පිවිසි ළහිරු තිරිමාන්න අශ්වින්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වද්දාගැනීමෙන් ලකුණු 9කට දැවී ගිය අතර ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 10ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට දඟ පන්දු යවන ජඩේජා සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 60ක් තුළ බිඳ වැටීමෙන් පසුව 4වන කඩුල්ලට ලකුණු 62ක් එක් කරන්නට නායක දිනේෂ් චන්දිමාල් සහ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමත් වුවත් ලකුණු 51ක් ලබාගෙන සිටියදී දිමුත් ඉෂාන් ශර්මාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම නිසා පිටියෙන් ඉවත් වීමට සිදු විය.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 24ක් ලබා සිටියදී දවා ගැනීමට ජඩේජා සමත් වූ අතර අශ්වින්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 2ක් ලබා සිටි දසුන් ශානක දැවී ගියේය. 7 වන කඩුල්ල ලෙස දිල්රුවන් පෙරේරා ලකුණු 15කට දැවීයන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 187ක් වී තිබිණි. 8 වන කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් රිවස් ස්වීප් පහරකට තැත් කිරීමේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට අශ්වින් සමත්වූ පසු ශ්‍රී ලංකා පිතිකරණ අංශය ඔසවා තැබීමට කිසිවකුත් සමත් නොවීය.

ලකුණු පුවරුව 205ක්ව තිබියදී ලකුණු 17ක් ලබා සිටි සුරංග ලක්මාල් 9වන කඩුල්ල ලෙසද රංගන හේරත් අවසන් කඩුල්ල ලෙසද දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. පන්දු යැවීමේදී අශ්වින් කඩුලු 4ක් බිඳහෙලූ අතර ඉෂාන් ශර්මා සහ ජඩේජා කඩුලු 3 බැගින් බිඳහෙළීය.