රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සහ එම අවස්ථාවේදීම තවත් පුද්ගලයකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අරුමාහන්දි ජනිත් මධුෂංක හෙවත් පොඩි ලැසී නමැති සැකකරු බන්ධනාගාරයේ සිට අධිකරණවලට ගෙන යෑම හා වෙනත් ස්ථානවලට ගෙන යන අවස්ථාවලදී ඇතිවිය හැකි ආපදාවන් වළක්වාලීම සඳහා
පොලිස්පතිවරයා විසින් විශේෂ

සේවා පොලිස් කණ්ඩායමක් පෙරේදා (30දා) සිට ආරක්ෂාව සඳහා සැපයීමට තීරණය කර තිබේ.

මේ අනුව ඉදිරි නඩු කටයුතු සඳහා බළපිටිය, ගාල්ල අධිකරණයන් වෙත සැකකරු රැගෙන යෑමේදී බන්ධනාගාර නිලධාරීන්ට අමතරව මෙම භට කණ්ඩායම යොදවා තිබේ.
2015 මාර්තු මස 23දා හික්කඩුව පොලිස් වසමේ වෑවල ප්‍රදේශයේ හෝටලයකදී රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අගම්පොඩි මනෝජ් මෙන්ඩිස් මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සහ එම අවස්ථාවේදීම කලුමිත් සනත් වසන්ත නමැති අයට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු පවරා තිබිණි.
මනෝජ් මෙන්ඩිස් මහතා ඝාතනය කිරීමෙන් පසුව සැඟවී සිටි සැකකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය. ඊට පසු ගාල්ල මහාධිකරණයෙන් ඇප ඉල්ලුම්පතත් ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහරින ලද සැකකරු දිගින් දිගටම අධිකරණය මඟ හැරීම නිසා සැකකරුගේ ඇප අවලංගු කළ අධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කළේය.

මේ අතර 2016 දෙසැම්බර් මාසයේදී අම්බලන්ගොඩ පොලිස් වසමේ සිදුකරන ලද ත්‍රිත්ව ඝාතනයක්

සම්බන්ධයෙන් අධිකරණය මඟ හරිමින් සිටි අරුමාහන්දි ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී නමැති සැකකරු අත්අඩංගුවට ගත් පොලිසිය මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

පොඩි ලැසීගේ සහ පොඩි ලැසීගේ විරුද්ධවාදීන්ගේද පාතාල සාමාජිකයන් වරින් වර ඝාතනය වීම නිසා පොඩි ලැසීගේ ආරක්ෂාව පිළිබඳව බන්ධනාගාර නිලධාරීන්ටද ගැටලු මතුවී තිබිණි. මේ අනුව පෙරේදා (30දා) අම්බලන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ නඩුව බළපිටිය අධිකරණයේ කැඳවූ අවස්ථාවේ විශේෂ ඒකක පොලිස් බළකායේ සෙබළුන් යෙදවීමට කටයුතු කරනු ලැබීය. පෙරේදා (30දා) විභාගයට ගැනීමට තිබුණත් ආරක්ෂ හේතු මත ඇති වූ සැකයක් නිසා නඩුව කල් දමනු ලැබීය.

රත්ගම - ගුණපාල ඉරත්නවල්ලි