රෝහල් රාජකාරී අතර පුටුවේදී මියගිය
මහනුවර හෙදියගේ මරණය තවම අභිරහසක්


මහනුවර මහ රෝහලේ 65 වන වාට්ටුවේ රාත්‍රී රාජකාරියේ යෙදෙමින් සිටි හෙදියක පුටුවක වාඩිවී  සිටියදී අභිරහස් ලෙස මියයාමේ සිද්ධියක් පසුගියදා වාර්තාවී තිබේ.
කැගල්ල හෙම්මාතගම. රුවන්දණිගම පදිංචිව සිටි අසන්ති කුමාරි බණ්ඩාර නමැති 37 හැවිරිදි හෙද නිලධාරිනිය මේ ආකාරයට මියගොස් තිබුනි. ඇය උදේ පාන්දරට වන්නට පුටුව මත නිසොල්මනේ මියගොස් තිබුණ අතර ඒ බව
එම අවස්ථාවේ

සේවයේ නියුතු අනෙක් හෙදහෙදියන් දැක තිබේ. ඇය මියගිය ආකාරයේ අමුත්ත දැක කම්පනයට පත් එක් හෙද නිලධාරියෙකු ඉන් ඇතිවූ කම්පනය හේතුවෙන් රෝගාතුර වී වෛද්‍ය ප්‍රතිකාර ලබන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මියගිය හෙදියගේ පශ්චාත් මරණ පරික්ෂණය පසුගිය සිකුරාදා අධිකරණ වෛද්‍ය නිලධාරි රංජිත් දසනායක මහතා විසින් පවත්වා, මරණයට හේතුව පසුව ප්‍රකාශ කරන බව පවසා විවෘත තීන්දුවක් ලබාදී ඇත.
 මියගිය හෙදියගේ සිරුරු කොටස් හා ලේ සාම්පලයක් ද වැඩිදුර පරික්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යැවීමට ලබාගත් බව වාර්තා විය.

කැගල්ල හෙම්මාතහම. රුවන්දණිගම පදිංචිව සිටි මියගිය අසන්ති කුමාරි එක් දරු මවකි. මහනුවර මහ රෝහලේ වකුගඩු බද්ධ කිරිමේ ඒකකයේ ශල්‍යාගාරයේ වසර 10ක පමණ කාලයක් තිස්සේ සිට මෙම හෙද නිලධාරිනිය සේවය කරන්නියකි. ඇය මියගියේද එම වාට්ටුවේ සිටියදීය.
 65 වාට්ටුවේ රාත්‍රී රාජකාරියේ යොදවා සිටි අයගෙන් ප්‍රශ්න කර මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට පොලිසිය බලාපොරොත්තු වෙයි.