මේ වනවිට නිලධාරීන්ගේ දක්ෂතාවය නිසා කොළඹ කූණු බිංදුවට අඩුව ඇතැයි ඇමති පාඨලී චම්ලික රණවක පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී දන්වා සිටියේය. ඒ මෙසේය.

‘මීතොටමුල්ල තිබෙන කසළ කන්දත්, බ්ලූමැන්ඩොල් කසළ කන්දත් දෙකම අපි නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඊළඟ අවුරුදු දෙකේ දී නාගරික උද්‍යාන බවට පත් කරනවා. ඒ වගේම මින් ඉදිරියට කිසිම තැනක
අවිධිමත් විදිහට කසළ කඳු ගොඩගැහෙන්න මේ කලාපයේ අප ඉඩ තබන්නේ නැහැ. කරදියානත් අපි අනුක‍්‍රමයෙන් පළාත් සභාව සමග එකතු වී මේ ලබාගන්නා අත්දැකීමත් සමග විධිමත් ස්ථානයක් බවට පරිවර්ථනය කරන්න කටයුතු කරනවා. ඒ නිසා මහජනතාවගෙත් විශාල වගකීමක් තිබෙනවා

මේ සම්බන්ධයෙන් තමන්ගේ ගෙදර වගකීම, ආයතනයේ වගකීම ඉටු කරන්න කි‍්‍රයා කිරීම. නැතිව ආණ්ඩුවට, පළාත් පාලන ආයතනවලට බණින්න විතරක් නෙමෙයි තමන්ගේ වගකීම ඉටු කරන්නත් කටයුතු කළ යුතුයි.

කුණු ගොඩගැසුණාම, කොළඹ කුණුවෙලා, ගඳ ගහනවා, මදුරුවෝ කියා වර්තා ඉදිරිපත් කරනවා වගේම කොළඹ කසළ අද බිංදුවට බැස්සවීම ගැන ඒ අදාල නිලධාරීන්ට හා අදාල ක්‍ෂෙත‍්‍රවල කැපවීම් කරපු සියළු දෙනාමටම අවශ්‍ය කරන ඒ ප‍්‍රචාරය ලබාදෙන්න කියලා. අපි මේ වසර අගදී මේ සඳහා දායක වූ පහළම කම්කරුවාගේ සිට ඉහළම නිලධාරීයා දක්වා සියළු දෙනාවම ඇගයීමකට ලක් කර ඒ අයට ඇගයීම් සම්මාන ලබාදෙන්නත් කි‍්‍රයා කරනවා. මොකද මේවා අවසාන වශයෙන් අපේ පහළම ඉන්න කම්කරු මහත්වරු. ඒ වගේම වැදගත්ම දේ මේ කසළවලින් සල්ලි හම්බකරපු, සක්කු පුරවගත්ත මාෆියාවක් තිබුණා. අද ඒ මාෆියාව ඉවරයි. ඒ අයට නැවත මේ රටේ, මේ ආයතනවල හිස ඔසවන්න අපි ඉඩ තියන්නේ නැහැ. දැන් අරමුදල් ලැබෙනවා නම් ලැබෙන්නේ රාජ්‍ය අංශයට. එයත් විශාල ශක්තියක්. ඒ වගේම කසළවල වගකීම ආණ්ඩුවට පැවරිය යුතු නැහැ. ඒවායේ වගකීම කසළ ජනනය කරන අයද භාරගත යුතුයි. ඒ ප‍්‍රතිපත්තිය රජය ඉදිරියේ දී ක්‍රියාත්මක කළ යුතුයි. ‘