ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පසුගියදා පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 239ක පරාජයක් ලබන්නට ශ්‍රී ලංකාවට සිදුවූ අතර එම පරාජය ටෙස්ට් ඉතිහාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලැබූ දරුණුතම පරාජය ලෙසද වාර්තා පොත් අතරට එක්විය.
කෙසේ වෙතත් මෙම පරාජය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් තුළ ඇත්තේ බලවත් අප්‍රසාදයකි. තරගය අවසානයේදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයා විදෙස් මාධ්‍යක් හමුවේ පවසා ඇත්තේ පිතිකරුවන්ට සහයෝගයක් දක්වන තණතීරුවක මෙවැනි ඉතාමත් දුර්වල පිතිහරඹයක්

දක්වනවා නම් එයට කිසිදු සමාවක් නැති බවය.

"නාග්පූර් තණතීරුව පළමු දින තුනේදී පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය තණතීරුවක් බවට පත්වෙලා තිබුණත් එවැනි තණතීරුවක පළමු ඉනිමේදී ලකුණු 400ක්වත් රැස්කර ගැනීමට නොහැකි නම් ලෝකයේ ටෙස්ට් වර්ගීකරණයේ අංක එකේ පසුවන කණ්ඩායමකට සටනක් දෙන්න කොහෙත්ම බැහැ. අපි කාසියේ වාසිය දිනුවත් එහි වාසිය අපිට ලබාගැනීමට නොහැකි වුණා" යැයි පැවැසූ ශ්‍රී ලංකා නායකයා සිවුවැනි දිනයේදී උදය වරුවේදීම කඩුලු 7ක් බිඳ වැටීම අතිශය ශෝචනීය තත්ත්වයක් බවද පෙන්වා දුන්නේය.
"තෙවැනි දිනයේදී තරගය නතර කරන විට අපි එක කඩුල්ලකට ලකුණු 21ක් ලබා සිටියා. ඔවුන්ට ප්‍රධාන පන්දු යවන්නෝ හිටියේ හතර දෙනයි. ඔවුන්ට පස්වැනි පන්දු යවන්නෙක් නොමැති නිසා කඩුලු ආරක්‍ෂා කර ගනිමින් පිටියේ රැඳී සිටියොත් එම පන්දු යවන්නන්ට අපහසුවක් වෙන බව අපිට තේරුණා. ඒත් අපේ ඒ සියලුම සැලසුම් සාර්ථක වුණේ නැහැ. මම ඉන්දියාවට ආවේ ලොකු බලාපොරොත්තුවකින්. මේ නිසා නායකයා වශයෙන් මම දැඩි කලකිරීමකට පත්වෙලයි ඉන්නේ. කොහොම වුණත් මේ පසුබැසීමෙන් ගොඩඒම සඳහා කණ්ඩායමේ නිලධාරීන් හා ක්‍රීඩකයන් එකතු වෙලා සාකච්ඡා කළ යුතුයි" යනුවෙන්ද ශ්‍රී ලංකා නායකයාගේ අදහස විය.

මේ අතර මෙම පරාජයෙන් පසු මාධ්‍ය හමුවකට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු වන නික් පෝතාස් පවසා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සත්‍ය ස්වභාවය හඳුනා ගැනීම සඳහා ඉන්දියානු අත්දැකීම් උදවු වී ඇති බවය. "පසුගිය මාස කිහිපය තුළ අපි ඉන්දියාව සමඟ ටෙස්ට් තරග 5ක් ක්‍රීඩා කර තිබෙනවා. ඉන්දියාව වැනි අංක එකේ කණ්ඩායමක් හමුවේ ලබන අත්දැකීම් අනාගතයට ඉතාමත් වැදගත් වේවි" යනුවෙන්ද පෝතාස් එහිදී පවසා තිබිණි.