වරදක් කළා තමයි ඒත් ඒක සුළු දෙයක්
නව සංවිධායක ධූරයට පත්වූ

ගුරුවරිය දණගැස්සූ හිටපු මන්ත්‍රී


 ආනමඩුව නවෝද්‍යා විද්‍යාලයේ සුසිලා ගමගේ නම් ගුරුවරියක පාසල් වේලාව තුළ ප්‍රසිද්ධියේ දණගස්වා තැබීම හේතුවෙන් පුත්තලම මහාධිකරණයෙන් වරදකරු බවට පත්වූ ආනන්ද සරත් කුමාරට පසුගියදා ආනමඩුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුරය හිමිවී තිබීම කථාබහට ලක්ව තිබේ.
 මෙම අපකීර්තිමත් ක්‍රියාකලාපය නිසා ඔහුට ඒ ආසන්න මැතිවරණය පවා පරාජය වන්නට සිදුව තිබුණ අතර ගුරු සංගමය මෙම නව පත්වීම විවේචනය කර තිබේ.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරද සහභාගීවූ  පිළිගැනීමේ උත්සවයකට එක්වෙමින් අදහස් දැක්වූ ගුරුවරිය දණ ගැස්වූ ආනන්ද සරත් කුමාර මෙසේ කියා ඇත." වරදක් කළා තමයි; නමුත් ඒක සමථ මණ්ඩලයෙන් විසඳගන්න තිබුණු නඩුවක්. නමුත් මාව පොලිස් අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා; ඊට පස්සේ මහාධිකරණයට දාලා; මාව වැරදි කාරයෙක් කරලා; මට දඩ ගැහුවා. ඒ නිසා මම මට ඡන්දෙ දුන්න ජනතාවට ආචාර කරලා බොහොම ගෞරවනීය විදිහට පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණා.

මේ සංවිධායක තනතුර භාර අරගෙන මම සති දෙකක් බලාගෙන හිටියා. ඕන කෙනෙකුට මඩ ගහන්න ඉඩ දීලා. නමුත් මේ අය තවත් මට එළව එළවා පහරදෙනවා. මගෙන් යම් වැරද්දක් වුණා; මම දඬුවම් වින්දා දැන් ඒක ඉවරයි. නමුත් ඊට පස්සේ ඒ ගුරුවරිය කියලා නෑ අඩුම තරමින් මං රවලා බැලුවවත් කියලා. මම ආනමඩුව සංවිධායක ධූරය ඉල්ලලා සිටියේ බණ්ඩාරනායක මැතිණියගේ කාලෙ ඉදලා.

නමුත් මම අදටත් පණ ව‍ගේ ආදරය කරන මහින්ද රාජපක්ෂ මහත්තයවත් මට මේක දුන්නේ නෑ. නමුත් පහුගිය මැතිවරණෙදි මහින්ද මහත්තයාගේ වේදිකා වල මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මම බැණපු විදිහට මම කවදාවත් හිතුවේ නෑ එතුමා මට මේ සංවිධායක කම දෙයි කියලා.“