ත්‍යාගයක් දීමට හිතවත් ගුරුවරියකගේ නිවසට ගිය හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරියකගේ මොටර් රථයේ තිබූ වටිනා දේපළ රැසක් සොරාගෙන පලාගිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන
පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ කරයි.

පැමිණිලිකාර හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරිය අනුරාධපුර පුබුදුපුර ප්‍රදේශයේ පදිංචිව සිටින සිය හිතවතියට ත්‍යාගයක් දීමට නිවසට ගොස් ඇති අතර මෝටර් රථය නිවස ඉදිරිපිට නවතා තබාගොස් තිබෙන්නේ විදුරු වැසීමට අමතකවයි.

ඒ අවස්ථාවේ නිවස ආසන්නයේ සිටි කිසියම් සොරෙකු මෝටර් රථයේ දොරෙහි වීදුරුව වසා නැති අයුරු දැක එහි තිබූ මුදල් පසුම්බිය, වටිනා ජංගම දුරකථනය හා රන් මුදුවක් සොරාගෙන පලාගොස් ඇති බව පොලිසිය පැවැසුවේය.

හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරිය නැවත රථයට පැමිණි අවස්ථාවේ කිසියම් අයකු එහි තිබූ ජංගම දුරකථනය, මුදල් සහිත පසුම්බිය හා රන් මුදුව සොරාගෙන ඇති බව වටහාගෙන ඒ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. තමන් ගිය නිවසේ හිතවත් ගුරුවරිය මීට පෙර ත්‍යාගයක් වශයෙන් දුන් ජංගම දුරකථනයත් සොරකම් කර ඇති බව ඇය පොලිසියට පවසා තිබුණි.

සිද්ධිය වූ නිවස ආසන්නයේ නිවසක ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කර සැකකරු හඳුනා ගැනීමට පොලිසිය උත්සාහ කළත් එම කැමරාව තාක්ෂණික දෝෂයකට ලක්වී තිබීම නිසා සොරා සම්බන්ධයෙන් හොඩුවාවක් ලබා ගැනීමට නොහැකි වූ බව පොලිසිය පැවැසුවේය.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එම්. ඩී. සී. දිසානායක මහතා ඇතුළු නිලධාරීහු සොරකම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කරති.

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය