මට ‘තම්බියා‘ කිව්වට ගාණක් වත් නෑ

පහත පළවන්නේ ලංකාවේ බෞද්ධ පාසලක ඉගෙනුම ලැබූ ෆයිට් පිළිකා අරමුදල වෙනුවෙන් සේවය කරන මුස්ලිම් ජාතිකයෙකු සිය අතීතය මෙනෙහි කරමින් තැබූ අපූරු සටහනකි. මේ දිනවල බෞද්ධ - මුස්ලිම් ප්‍රශ්න කිරීම් බහුල සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වී තිබෙන මෙම සටහනේ තිබෙන විශේෂත්වය නිසා අපි එය මෙහි පළකරන්නට අදහස් කළෙමු

මුස්ලිම් අයෙක් වන මා හට ‘තම්බියා‘යනුවෙන් කවුරු හෝ ආමන්ත්‍රණය කලද මා හට තරහක් කෝපයක් උපදින්නේ නැත.
මන්ද මට එය හුරුපුරුදු වචනයකි .
මා ඉගෙනුම ලැබූවේ (5 වසරේ සිට 13 වසර දක්වා)
කලුතර ඥානෝදය මහ විද්‍යාලයෙන් ය.
එය දිස්ත්‍රික්කයේ පිහිටි උසස් බෞද්ධ පාසලයි .
අප පාසලේ
මුස්ලිම් සිසුන් සිටියේ 5-10 වැනි සුලු පිරිසකි.
අපේ පංතියේ සිටි එකම මුස්ලිම් සිසුවා මම විය.
මගෙ පංතියේ සියලුම යහලුවන් මට
ආමන්ත්‍රණය කලේ තම්බියා යනුවෙනි.

මගේ නම ‘මොහොමඩ්‘ වුවත් ‘තම්බියා‘ නමින් ලක්ෂ වාරයක් ඔවුන් මා ආමන්ත්‍රණය කර ඇත.

තම්බි යනු දෙමළ භාෂාවෙන් ‘මල්ලි‘ වන අතර තම්බියා යනු ‘මල්ලීමය‘ යන්නයි . ලංකා මුස්ලිම් ඉතිහාසය ගැන දන්නෝ මෙය හොදින් දනිති. ‘මරක්කල‘යන්නෙහි අදහස" ‘මාව රැකපු ලේ‘ ආදි ලෙස බොහෝ අර්ථයන් ඇත.
‘එම නිසා තම්බියා යනුවෙන් ආමන්ත්‍රණය කවුරු හෝ කලබල නොවිය යුතු දෙයකි‘

ඒ ආමන්ත්‍රණය මා මාගේ පාසල් කාලය ආවර්ජනය කරමි

මා ඥානෝදයේ ඉගෙන ගන්නා විට මගේ මල්ලි ඉගෙන ගත්තේ මුස්ලිම් පාසලේ ය.බෞද්ධ පාසලක් වූ නිසා ඉස්ලාම් විෂය තිබුණේ නැත .ඒ නිසා මමද බුද්ධ ධර්මය විෂයක් ලෙස හැදෑරුවෙමි.
වාර පරීක්ෂණ වලින් ලකුණු 85 වඩා ගත්තෙමි .සියලුම ගාථා කට පාඩම් කළෙමි.
‘සමහර පිරිත් අදටත් කට පාඩම්‍ ය.‘
O/L විභාගයේදී බුද්ධ ධර්මය විෂයට විශිෂ්ට සාමාර්ථයක් ලබා ගත්තෙමි .
ආරම්භයේදී මගෙ මව මේ ගැන වැඩි පැහැදීමක් නොවුනත් පසුව මුලු පවුලටම ආඩම්බරයක් විය.
සිංහල සාහිත්‍ය ද එලෙසමය .උම්මග්ගය,ගුත්තිලය ,සැළලිහිණිය ලෝ වැඩ සගරාව තවමත් හිතේ පාවී යයි.
දිනක් විදුහල්පතිතුමා උදේ රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කර මා ‘ගෞරවාදරයට‘ පත් කල මොහොත නිතැතින් සිහියට නැගෙයි.
කණ්ඩායම් නායකයා ,පන්ති නායකයා ,ශිෂ්‍ය නායකයෙකු ලෙස නායකත්වය දැරූ මා හට සිංහල චාරිත්‍ර ,සංස්කෘතිය ,
බොදු සුවද ගැන පිටු දහස් ගණන් ලිවිය හැක.
සිංහල බෞද්ධ හදවත්වල ස්පන්දනය ,එහි අලංකාරය ගැන ලිවීම අනවශ්‍ය .
මන්ද මා වැනි බෞද්ධ පාසැල්වලට ගිය මුස්ලිමුන් ඒ ගැන හොදින් දනිති.
පාසැල් කාලයේ සිදු කල රසවත්ම සිදුවීම් බොහෝ ඇත.
ඒවායෙන් සමහරක් නම්........
තාත්තගෙ කඩෙන් රැගෙන එන රුපියල් 10.00 යෙන් කැන්ටිමෙන් කෑම රැගෙන යාලුවන් සමග බෙදා කෑවෙමු. එයින් මමආත්ම තෘප්තික් ලැබුවෙමි.
තවත් රසවත් කතාව නම් කැන්ටිමෙන් ණයට කෑමයි.

සිංහල අලුත් අවුරුද්දට යාලුවන්ගේ ගෙවල්වල යාම ද අමතක නොකලෙම්.
වෙසක් කාලයට කූඩූ සෑදුවේ දන්සල්වලට ගියේ බැතිසිතිනි.
ඒ වගේම ‘ඊද්‘ අවුරුද්දට සහ

‘මුහම්මද් තුමාගේ‘උපන්දිනට යෙදෙන දානමය පිංකමට මගේ යාලුවන් ද අපේ නිවසට පැමිණියේ එලෙසමය.
‘වර්තමානයේදී‘ද එසේමය .
ලගකදී අප පන්තියේ සියලුම යාලුවන්ගේ සුහද හමුවක් පැවැත්විනි.
සියලු දෙනා විනෝද වූයේමු.
ඔවුන්ගෙන් සමහරක් දොස්තරවරු,
ඉංජිනේරුවන් ,රජයේ සේවකයෝ ..ආදී වශයෙන් සැවොම අද රටට සේවයක් කරති.
අපි සැවොම පසුගිය වෙසක් දිනයකදී දන්සැලක් දුන්නෙමු.
පුරා වසර 7 ඥානෝදය මවගෙන් මා ලබූ අභාෂය හා පන්නරය මට ඈ ඉදිරියේ ම සත්‍ය කරන්න අවස්ථාවක් ලැබුනි..
ඒ ඥානෝදය මහ විද්‍යාලයේ සංවර්ධන සමිතියේ මහ සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසිනි විනාඩි 45 පමණ මා කළ කතාවෙන්‍ ය පැමිණ සිටි ගුරු,සිසු,සහ දෙමාපියන්ගෙන් හදවතට දැණුන බව මට වැටහී ගියේ මා දෙස නෙත් යොමා සිටි ආකාරයෙන් පමණක් නොව මවක් නැගිට ඥානෝදය මහ විද්‍යාලය වෙනුවෙන් මා හට ප්‍රශංසා කළ ආකාරයෙනි .
අවසානයට මා මෙසේ සනිටුහන් කරමි.
මහරගම පිළිකා රෝහලට ‘පෙට් ස්කෑනර් යන්ත්‍රය ගෙනඒමට අරමුදල් මගේ මූලිකත්වයෙන් කදීජා‘ පදනමට හැකි වූයේ ජාති බේද නොමැතිව සියලුම ලාංකිකයන්ට කතා කල හැකි හදවතක් මා සතුව ඇති නිසා ය.
‘අපි සැවොමගේ ජාතිය ආගම දහම කුමක් වුවත් අපි අභිමානවත් ශ්‍රී ලාංකිකයෝ ය‘

MSH මොහොමඩ්
කණ්ඩායම් නායක
ෆයිට් කැන්සර් ටිම්
ශ්‍රී ලංකාව