නව ව්‍යවස්ථාවක් ඇති කිරීම සම්බන්ධයෙන් මල්වතු හා අස්ගිරි නායක හිමිවරුන් එකඟ නොවූ බවට පසුගියදා සිදුවුණ මාධ්‍ය ප්‍රචාරණය දැන් පැටලිලි සහගත තත්වනයකට පත්ව තිබේ.
අස්ගිරි පාර්ශ්වය මෙම යෝජනාවට මුල සිට විරුද්ධවූ නමුත් මල්වතු නායක හිමියන් එයට කිසිවිට විරුද්ධවූයේ නැත.

නමුත් මල්වතු නායක හිමියන් විදෙස්ගතවූ අවස්ථාවක මල්වතු -අස්ගිරි දෙපාර්ශ්වයේ තීරණය යයි කියමින් නව ව්‍යවස්ථාවට නොකැමැති බවට තීරණයක් මාධ්‍ය වල පළකර තිබුනේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්  දැන්වූයේ යයි පවසමිනි.


කෙසේ වෙතත් නායක හිමියන් ලංකාවට වැඩමවූ පසු මෙහි ඇත්ත තත්වය පැහැදිලිවී තිබෙන අතර අද දිනමිණ පුවත්පත් වාර්තාවක දැක්වෙන්නේ‍
ව්‍යවස්ථාවට විරුද්ධවීම මල්වතු පාර්ශවයේ මහනාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාවේ ඒකමතික තීරණය නොවන බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පැවසූ බවයි.

අදාළ සාකච්ඡාවට මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම සහභාගී නොවු බවත් මල්වතු පාර්ශවය නියෝජනය කරමින් ඊට සහභාගී වූයේ තමන් වහන්සේ හා ශ්‍රීදළදා මාලිගාවේ තේවාව භාර තිබ්බටුවාවේ මේධංකර හිමි පමණක් බවත්  සාකච්ඡාවේ තීන්දු මල්වතු පාර්ශවයේ තීන්දුවක් ලෙස ප්‍රකාශ කිරීම වැරදි බවත් අවධාරණය කර ඇත.
කෙසේ වෙතත් දෙරණ නාලිකාව මගින් විකාශය කළ පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි එදා කී කතාව පහත පරිදිය.