කොළඹ, පිටකොටුව බැස්ටියන් මාවතේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුව සතු භූමි භාගයේ රථ වාහන නැවැත්වීම වෙනුවෙන් දිනපතා රුපියල් 35,000කට අධික මුදලක් ලැබෙන මුත් එම මුදලින් දුම්රිය දෙපාර්තමේන්තුවට බැර වන්නේ සියයට 20ක් පමණ වූ මුදලක් බවත් ඉතිරි සියයට 80ක මුදල එක්තරා
නියෝජ්‍ය ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු

ඇතුළු ඔහුගේ හිතවතුන් කිහිපදෙනකු අතරේ බෙදී යන බවත් අනාවරණය වෙයි.

මැනිං වෙළෙඳපළට යාව දුම්රිය වෘත්තීය සමිති මූලස්ථාන කාර්යාලයක් පිහිටි මෙම භූමි භාගයට ලොරි, වෑන්, ත්‍රිරෝද රථ ඇතුළු වාහන සංඛ්‍යාවක් පැමිණෙන අතර ලොරියකින් රුපියල් 300ක්ද, වෑන් රථයකින් රුපියල් 200ක්ද, ත්‍රිරෝද රථයකින් රුපියල් 100ක්ද ඒ සඳහා පත්කර ඇති දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් දෙදෙනා විසින් අය කළද ඒ සඳහා නිකුත් කරන්නේ සීමිත බිල්පත් ප්‍රමාණයක් නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබිය යුතු රුපියල් ලක්ෂ 7-8ක පමණ ආදායමක් අහිමිවී ඇතැයිද පැවැසේ. එමෙන්ම මෙම භූමියේ සකසා ඇති ස්නානය කිරීමේ ස්ථානයට දෛනිකව විශාල පිරිසක් පැමිණෙන අතර එක් අයකුගෙන් රුපියල් 50 බැගින් විශාල ආදායමක් උපයන බවද රත්මලාන දුම්රිය සේවක සංගමය දුම්රිය බලධාරීන් දැනුවත් කර තිබේ.

මේ පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු පැවැසුවේ මෙම භූමියේ රථ වාහන ගාල් කිරීමෙන් ලැබෙන ආදායම විධිමත් ලෙස දෙපාර්තමේන්තුවට ලබාගැනීමේ අරමුණ ඇතිව එය ටෙන්ඩර් කැඳවා බදු දීමට පියවර ගත් නමුත් පිළිගත් ටෙන්ඩර්කරුවෙක් එම ටෙන්ඩරය ලබාගැනීමට ඉදිරිපත් නොවූ බවයි. ඒ අනුව ඊළඟ ලංසුව ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුට එම භූමිය ලබාදීමටත් එසේ නොහැකි නම් එය නැවත ටෙන්ඩර් කැඳවා බදු දීමටත් පියවර ගන්නා බවද සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.


උපතිස්ස පෙරේරා