කිසිවෙකු නොසිතන ඇමතිවරුන් තමා සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
එම ඇමතිවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග පවත්වන සාකච්ඡාවල තොරතුරු තමන්ට ලබාදෙන බවද හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.අදපුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

බොහෝ ඇමතිවරුන් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු

ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සංසන්දනය කරමින් කතා කරන බවත්,ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවලදී වත්මන් ජනාධිපතිවරයා  හැසිරෙන ආකාරය තමන් සමග පවසන බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු හා පළාත් සභා  මන්ත්‍රිවරුන් එම පක්ෂයෙන් ඉවත් නොවී අවශ්‍ය අවස්ථාව  එළඹෙන තෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් නොවීමට එකඟතාවක් ඇති කරගෙන තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු හෝ පළාත්  සභා මන්ත්‍රිධුරය දරන අතරතුරදී එම මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට  එක්වුවහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි වීමට ඉඩ තිබෙන බැවින් උපාය මාර්ගික සැලැස්මක් අනුව තීන්දු තීරණ ගන්නා බවද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

 දැනට විසුරුවා හැර තිබෙන පළාත් සභාවල මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූයේ ඒ අනුව යමින් බවද හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, දිනපතා ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් තමන් සමග දුරකථන ඔස්සේ සාකච්ඡා කරන කිසිදු රහසක් පිටතට නොදීමට වග බලා ගන්නා බවයි.

මේ දක්වා අදාළ දේශපාලඥයන් සමග සබඳතා පැවැත්වීමට හැකිව තිබෙන්නේ, එම විශ්වාසය අනුව බවද හෙතෙම පවසා සිටියේය.

අමිත් මධුරංග
courtesy by ada.lk