පාසල්වල පවත්වන විවිධ උත්සව සඳහා වියදම් අධික රංග ශාලා යොදා ගැනීම නැවැත්වීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ඒ සඳහා සියලු පාසල් ප්‍රධානීන් දැනුම්වත් කර චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
අගනුවර බොහෝ

පාසල්වල උත්සව පැවැත්වීම සඳහා මිල අධික රංග ශාලා යොදා ගැනීම පුරුද්දක් කරගෙන ඇති බවත්, මේ සඳහා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමේ දී දෙමාපියන්ගේ දායකත්වය ලබාගැනීම හේතුවෙන් ඔවුන් දැඩි ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දෙන බවත් අමාත්‍යවරයා කීවේය.
පාසල්වල උත්සව පැවැත්වීම සඳහා ප්‍රමාණවත් ශාලා පහසුකම් නොමැති අවස්ථාවල දී අඩු පිරිවැයක් දරා ප්‍රදේශයේ වෙනත් පාසල්වලින් ඒවා සපුරා ගැනීමට පියවර ගන්නායි විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇතැයි කී ඇමතිවරයා එවැනි සංකල්ප හා වාසිදායී ක්‍රමවේද හඳුනා ගැනීමට පාසල් ප්‍රධානීන් සමත් විය යුතු බව ද කීවේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ බොරැල්ල ගෝතමී බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ඉකුත් සිකුරාදා (19) දිනයේ දී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අවස්ථාවේය.