අනියම් ඇසුරට ගිය පළමු බිරිය නිසා සැබෑ ආදරය ගැන 
විශ්වාසය නැතිවී
ලෝකයේ ප්‍රබලම කාම සඟරාව බිහි කළ 
හියු හෙෆ්නර්

මින් ටික දිනකට පෙර සුප්‍රකට වැඩිහිටි සඟරාවක් වන ‘ප්ලේ බොයි‘ නිර්මාතෘ හියු හෙෆ්නර් මියගියා. පිරිමින් පිනවූ ගැහැණුන් පෝසත් කරවූ ඔහුගේ ව්‍යාපාරයෙන් බිලියනපතියෙකු බවට පත්වූ ඔහු මියයන විට වයස 91 ක් වූ අතර අමාරුවෙන් ගොඩනැගුන ඔහුගේ ජීවිතය ආදර්ශමත් එකක් ලෙස විදෙස් මාධ්‍ය තුළ බොහෝ විශේෂාංග ලිපි පළව තිබුණා.
1953 දී සුරූපී මැරිලින් මොන්රෝගේ නිරුවත් රූපකාය කවරයේ යොදා ප්‍රථම ප්ලෙබෝයි සඟරාව එළිදක්වා ඇත්තේ
නෑදෑයින්ගෙන්, යහළුවන්ගෙන් සහ දෙමව්පියන්ගෙන් ලද මුදල් මෙන්ම තමා ඉතුරු කල මුදල්ද එකතුකර අමාරුවෙනි.
පළමු කලාපයේදී හියු තම නම හෝ දිනය සඟරාවේ සදහන් නොකලේ මෙහි දෙවන කලාපයක් පළ නොවේ යැයි සිතූ බැවිනි. එනමුත් ඔහු සිහිනෙන්වත් නොසිතූ අයුරින් ඩොලර් සත 50 බැගින් පිටපත් 54000ක් පලමු කලාපයේම අලෙවි විය. නිරුවත් ඡායාරූප පාඨකයන්ගේ සිත් තදින් ඇඳබැඳ ගත් බව කියැවිණි.
 පළමු කලාපයෙන්ම ඉතා ජනප්‍රියත්වයට පත් මෙම සඟරාවේ තම ඡායාරූප පල කරවා ගැනීමට සුරූපී කාන්තාවන් හියු හමුවීමට වැල නොකැඩී ආවෝය. මුලදී 'ස්ටැග් පාර්ටි' ලෙස සඟරාව නම් කිරීමට සිතා සිටියත් තම මිතුරෙකුගේ ඉල්ලීම මත එය 'ප්ලේබෝයි' ලෙස වෙනස් විය. සඟරාවේ දෙවන කලාපයට චිත්‍ර ශිල්පියෙකු විසින් බෝ ටයි පටියක් පැළඳ සිටින කාටුන් හාවෙකු ඇඳ දුන්නේය. මෙය ප්ලේබෝයි සඟරාවේ නිල සංකේතය බවට පත්විය.

 ආරම්භක අවධියේදී පටන් මෙම සඟරාව ලිංගිකත්වය හා හාස්‍යට පමණක් නොව සාහිත්‍ය, දේශපාලනය හා විවිධ සංස්කෘතීන් සඳහාද ඉඩකඩ වෙන් කරන ලදි. රේ බ්‍රැස්බරි, චාර්ල්ස් බියර්මවුන්ට්, ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් සහ මාගරට් ඇට්වුඩ් වැනි ප්‍රකට ලේඛක ලේඛිකාවන් විසින් ලියන ලද කෙටි කතා ආදිය මෙම සඟරාවේ පළ විය.
 එමෙන්ම මැල්කම් එක්ස් (1963), මාර්ටින් ලූතර් කිං (1965), ජෝර්ජ් ලින්කන් රොක්වෙල් (1966) වැනි අයගේ සම්මුඛ සාකච්ඡා පවා මෙම සඟරාවේ පළවිය.

හෙෆ් විසින් 'Playboy's Penthouse' නමින් රූපවාහිනී වැඩසටහනක් මෙහෙයවූ අතර එය කළු ඇමරිකානුවන් , සුදු ඇමරිකානුවන් හා ප්‍රේක්ෂකයන් එක්ව සාමූහිකව කල ප්‍රථම රූපවාහිනී වැඩසටහන ලෙස ඉතිහාසයට එක්විය. හෙෆ් වර්ගභේද වාදයට එරෙහිව ප්‍රභලව හඬනැගූ අතර ලිංගික නිදහස පිලිබඳවද බෙහෙවින් කතාබහ කළේ ය.

 වසර 64කට පෙර හෙෆ් තම කෑම කාමරයේ සිට තනිවම සම්පාදනය කල ප්ලේබෝයි සඟරාව වර්තමානය වන විට ලොව ප්‍රමුඛ සන්නාම නාම අතර වෙයි. එමෙන්ම වැඩිම විකිණුම් ප්‍රමාණයර මෙය හිමිකම් කියන අතර රටවල් 20කට අධික ප්‍රමාණයක මෙම සඟරාව මුද්‍රණය කර බෙදා හරිනු ලබයි. ප්ලේබෝයි සඟරාව වසරකට ඩොලර් බිලියනයකට අධික ආදායමක්ද ලබයි. වර්ගයා බෝ කිරීම සඳහා මනුෂ්‍යයාට ස්වභාවධර්මයා විසින් දෙන ලද අයිතිවාසිකම් ඉතාම හොදින් වෙළදාම් කළ ලොව ලොකුම කාම වෙළෙන්දා ඔහු බව ලෝකයා පවසයි.

සඟරාවේ ඉලක්කය වයස 18-35 අතර තරුණයන් වුවත් ඊතලය නිතරම ගොස් ඇනෙන්නේ හැට පිනූ සරාගි මහල්ලන්ටය. හෙෆ් තම ජීවිත කාලය පුරාවට නොයෙක් සම්මානයන්ට පාත්‍ර විය. ඒ අතර ඇමරිකාවේ සඟරා ප්‍රකාශකයින්ගේ ඉහලම සම්මානය වන හෙන්රි ජොන්සන් ෆිෂර් සම්මානයද වේ.

 1926, අප්‍රේල් මස 9 වන දින චිකාගෝ හිදී හියු මාර්ස්ටන් හෙෆ්නර් උපත ලැබීය. පියා ගණකාධිකාරිවරයෙක් වූ අතර මව ගුරුවරියකි. හෙෆ් හැදී වැඩුනේ දැඩි ප්‍රොතෙස්තන්ත ආගමික නීති රීති යටතේය.

 "ඒ කාලේ මත්පැන් බොන්න බෑ, දුම් බොන්න බැහැ, පරුෂ වචනයෙන් කතා කරන්න බැහැ, ඉරිදට චිත්‍රපටයක් බලන්න යන්න බැහැ. මේවයින් ගොඩක්ම නරක දේ තමයි ලිංගිකත්වය කෙරෙහි එයාලා දක්වපු ආකල්පය, එය ඉතා භයානක හා කොයිම වෙලාවකවත් සදහන් නොකල යුතු දෙයක් විදිහටයි එයාලා සැලකුවේ." යැයි හෙෆ් විසින් 1962 දී ඉරිදා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පැවසුවේය.

 දෙවන ලෝක යුද්ධ සමයේ හමුදාවේ සේවයෙන් අනතුරුව 1949 දී හෙෆ් ඉලිනොයිස් හි විශ්වවිද්‍යාලයෙන් මනෝවිද්‍යාව පිලිබඳ උපාධියක් ලබා ගත්තේය. පසුව ඔහු විවිධ සඟරා වල මුද්‍රණ කටයුතු සම්බන්ධ රැකියා වල නිරත වූ අතර එම කාලයේදී කාටුන් චිත්‍ර ශිල්පියෙක් වීමටද ආශාව ඇතිව පුහුණුවීම් කලේය.

 1949 වසරේදී හෙෆ් මිලී විලියම්ස් නම් කාන්තාවව විවාහ කර ගත්තේය. විවාහයට පෙර, තමාට වෙනත් පුර්ෂයෙකු සමඟ සම්බන්ධතාවයක් ඇති බව ඇය හෙෆ් සමග පැවසුවද විවාහය නතර නොවීය. මෙම දෙපළට දරුවන් දෙදෙනෙකු ලැබුණි. ටික කලකින් දෙදෙනා දික්කසාද වූ අතර හෙෆ් පවසා සිටියේ ඔහු නැවත කවරදාකවත් විවාහ නොවන බවයි.
මෙම සිද්ධිය නිසා ගැහැණුන් කෙරෙහි සැබෑ පෙම් සබඳතා සැබෑ විවාහයන් කෙරෙහි ඔහුට විශ්වාසය නැතිවූ බව කියැවේ.
පසු කලෙක ලෝකයේ ජනප්‍රියම කාම සඟරාව අරඹන්නට ඔහුගේ මේ සිතුම් පැතුම් බලපෑ බව පැවසේ.
 70 හා 80 දශක වලදී බාර්බි බෙන්ටන් නම් නිරූපණ ශිල්පිණිය සමඟ හෙෆ් සබඳතා පැවැත්වුවද දෙදෙනා විවාහ වූයේ නැත. එනමුත් 1989 දී හෙෆ් වයස අවු. 26ක් වූ කිම්බර්ලි කොන්රඩ් නම් නිරූපණ ශිල්පිණිය සමඟ විවාහ විය. එවිට ඔහුගේ වයස අවු. 63කි. මෙම දෙපලටත් දරුවන් දෙදෙනෙකු ලැබුණු අතර 1998දී හෙෆ් ඔවුන්ගෙන් වෙන්ව ජීවත් වීමට තීරණය කළේ ය. 2010 දී දික්කසාදය ලබා ගත්තේය. 2012 වර්ෂයේදී හෙෆ් නවතත් විවාහ වූ අතර බිරිඳ නිරූපණ ශිල්පී ක්‍රිස්ටල් හැරිස් ය. එවිට හෙෆ්ගේ වයස 86ක් වූ අතර ඇයගේ වයස 26කි.

 1994 දී ලොස් ඇන්ජලීස් හිදී හෙෆ් තමාගේ ප්‍රථම විවාහය පිලිබඳ මෙසේ කියා සිටියේය;
"එදා මගේ හිත සම්පූර්ණයෙන්ම විනාශ වුනා. එදායින් පස්සේ මගේ ජීවිතයේ වුන සිදුවීම් වලට මේ සිද්ධිය මොනයම් හෝ ආකාරයකින් ප්‍රබලව බලපෑවා."
ගැහැණුන් කෙරෙහි සැබෑ පෙම් සබඳතා සැබෑ විවාහයන් කෙරෙහි විශ්වාසය නැතිවූ හියු හෙෆ්නර් ලෝකයේ ප්‍රබලම කාම සඟරාව අරඹා බිලියනපතියෙකු වූයේ ඉන් පසුවය.

 තොරතුර -ඩියෝන් මිතිල ප්‍රනාන්දු