රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් නමැත්තාගේ ඝාතනය සිදු වූ දින ජනාධිපති මන්දිරයෙන් ලබාදුන් දුරකථන ඇමතුම් මකා දමා තිබුණත් තාක්‍ෂණ ක්‍රම උපයෝගී කරගනිමින් ඒ සියල්ල හෙළි කරගෙන ඇතැයි නියෝජ්‍ය
සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  ජයරාම්  ට්‍රොට්ස්කි  මහතාට ඊයේ (28දා) දැනුම් දුන්නේය.

සිද්ධිය වූ දින ජනාධිපති මන්දිරයෙන් නාරාහේන්පිට පොලීසියේ ස්ථානාධිපතිවරයාට සහ තවත් පුද්ගලයන් රැසකට දුරකථන ඇමතුම් ලබාදී ඇතැයිද,

ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ සිදුකරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ මෙහි සැකකරුවන් ලෙස නම් කොට දැනට ඇප මත මුදාහැර සිටින කොළඹ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාද, නාරාහේන්පිට පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් ප්‍රසන්න මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිස් නිලධාරීහු සිද්ධියට අදාළව කරන ලද පරීක්‍ෂණවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සිද්ධියට අදාළව තවදුරටත් පරීක්‍ෂණ සිදුකරන බව දැනුම් දුන්හ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය අමතමින් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් නමැත්තාගේ ඝාතනය සිදු වූදා ජනාධිපති මන්දිරයෙන් නාරාහේන්පිට පොලීසියේ ස්ථානාධිපතිවරයාට සහ තවත් පුද්ගලයන් රැසකට දුරකථන ඇමතුම් ලබාදී ඇතැයිද, ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ සිදුකරන්නේ යැයිද කීය.

එලෙස ලබාදුන් සමහර දුරකථන ඇමතුම් මකා දමා තිබුණද, තාක්‍ෂණිකක්‍රම උපයෝගී කරගනිමින් ඒ සියල්ල හෙළි කරගෙන ඇති බවත්, මේ සම්බන්ධ පරීක්‍ෂණ ඉතාම ප්‍රවේශමෙන් හා ක්‍රමානුකූලව සිදු කරන බවත් දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා, මේ තත්ත්වය නිසා පරීක්‍ෂණ කටයුතු ප්‍රමාද වන බවද පෙන්වා දුන් අතර, පරීක්‍ෂණ කටයුතු අවසන් කොට අධිකරණයට දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ලබන නොවැම්බර් 08 වැනිදා සිද්ධියට අදාළව සිදුකරන පරීක්‍ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළේය.

බුද්ධිමාල් රුබේරු ( ada.lk)