පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා ඇමරිකාවෙන් ආනයනය කර දැනට කැලණිය ප්‍රදේශයේ කාන්තාවකට විකුණා ඇති ඇමරිකානු ඩොලර් 65000 ක්‌ වටිනා "මැස්‌ඩා" වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයට අදාළව ඒ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ඉහළ අධිකරණයක්‌ වෙත යොමු
කිරීම සඳහා බහා තැබීමට නියම කළ කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස්‌ මහතා එම මෝටර් රථය වත්මන් හිමිකාරිය වෙත මුදාහරින ලෙසට විත්තියේ නීතිඥවරයා කළ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කළේය.

උපයාගත් මුදල් ලැබුණු ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීමේ චෝදනාව යටතේ නාමල් රාජපක්‌ෂ මහතාට එරෙහිව විභාගයට ගනිමින් පවතින මෙම නඩුවට අදාළව රේගු, ආඥ පනතට පටහැනිව ඉහත කී වාහනය ආනයනය කර ඇතැයි මූල්‍ය අපරාධ කොට්‌ඨාසය අධිකරණයට වාර්තා කර තිබේ.

ඉකුත් 2016 වසරේ ගොනුකර තිබූ මෙම පැමිණිල්ලට

අදාළව අධිකරණයට අවශ්‍යව තිබූ ප්‍රශ්නගත වාහනයේ ලියකියවිලි කිහිපයක්‌ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ කාර්යාලයෙන් අස්‌ථානගත වීමක්‌ සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වැඩිදුර විමර්ශන හරහා වාර්තා කර තිබූ අතර ඒ සම්බන්ධව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌වරයාගේ ප්‍රකාශයක්‌ද අධිකරණය විසින් ලබා ගෙන තිබිණි.

මෙවර 31 දා නඩුව යළි කැඳවූ අවස්‌ථාවේ විත්ති පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රේමනාන් සී. දොලවත්ත මහතා, මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය මගින් පෞද්ගලික ගරාජයක තිබියදී අත්අඩංගුවට ගනු ලැබූ ඉහත කී මෝටර් රථය, මුල් නඩුවේ නඩු භාණ්‌ඩයක්‌ වශයෙන් නම් කර දැනට පොලිසිය භාරයේ තබා ගෙන ඇති බවත්, මේ ආකාරයෙන් පොලිසිය ප්‍රදර්ශන භාණ්‌ඩයක්‌ ලෙසට එය තවදුරටත් රඳවා ගෙන සිටීමෙන් එම දේපළ දිරාපත් වී අයිතිකාරියට බලවත් අසාධාරණයක්‌ සිදුව ඇතැයි පෙන්වා දුන්නේය.

මේ නිසා එම වාහනය සුදුසු බැඳුම්කරයක්‌ යටතේ මුදා හරින ලෙසට නීතිඥවරයා කළ ඉල්ලීම විනිසුරුවරයා විසින් ප්‍රතික්‌ෂේප කරන ලදී.

තවද මේ සම්බන්ධව විත්තියේ නීතිඥවරයා දැක්‌වූ කරුණුද සැලකිල්ලට ගත් විනිසුරු ප්‍රසන්න අල්විස්‌ මහතා මෙයට අදාළ වාහනය ආනයනය කිරීම සම්බන්ධයෙන් රේගු ආඥ පනත යටතේ විමර්ශන සිදු කළ යුතු නඩුව මෙම අධිකරණය තුළ තවදුරටත් පවත්වාගෙන යා නොහැකි නිසා එය ඉහළ අධිකරණයක්‌ වෙත යොමු කරන තුරු බහා තබන ලෙසට නියෝග කළේය.


පියදාස රණසිංහ