නිවසේ ගෑස් ගින්නට හසුවූ
ගීතා තවමත් රෝහලේ


සිනමා නිළි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය නාවල පිහිටි සිය නිවසේ මුළුතැන්ගෙයිහි ඇතිවූ ගින්නකට හසුව පිළිස්සුම් තුවාල ලබා මේ වනවිට නාරාහේන්පිට ලංකා හොස්පිටල්ස්හි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

ඇය පෙරේදා (31) රාත්‍රී 8 ට පමණ නිවසේ ගෑස් උදුනක් භාවිත කරන්නට යාමේදී
එම උදුනට සම්බන්ධ ගෑස් බටයේ තිබුණ කාන්දුවීමක් හේතුවෙන් ඇය උදුන දල්වන අවස්ථාවේ එක්වරම ගින්නක් පැනනැගී ඇති බවත් එම ගින්නට ඇගේ කොණ්ඩය ගිනිගත් බවත් වාර්තා විය.
එම අවස්ථාවේ කොණ්ඩය පිළිස්සීම වැළැක්වීමට ඇය අත්දෙකින් කොණ්ඩයට ගසා ගින්න නිවීම සඳහා උත්සාහ කර ඇති අතර මේ හේතුවෙන් ඇගේ අත් දෙකද පිළිස්සී ඇත.
ඒ සමගම ඇගේ උදරය දෙසට හා

පාදය දෙසටද ගිනි පුළිගු පතිතවී ඇය ගින්නෙන් බේරීම සඳහා නිවසේ සාලය දෙසට දිවගොස් ඇත.
නිවසේ සේවකයින් එක්වී ගීතා මහත්මිය බේරාගෙන ඇති අතර මුළුතැන්ගෙයි පැතිරුණ ගින්නද නිවා දමා ඇත. පසුව ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට ලංකා හොස්පිටල්ස් වෙත ඇයව රැගෙන ගොස් තිබේ.

එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරු ඇයගේ අත්ලට හා උදරය පාදයට ප්‍රතිකාර ලබාදී ඇති අතර ඇගේ තත්වය එතරම් බරපතල තත්වයේ නොවන බව දන්වා ඇත. කෙසේ වෙතත් ඇයගේ සුවදුක් බලන්නට එන අය වැඩිවීම මත විෂබීජ ශරීරගතවීමේ අවදානමක් පවතින නිසා ඇයව දැඩි සත්කාර ඒකකයේ රඳවා වැඩිදුර ප්‍රතිකාර සිදු කරන්නට ඔවුන් පසුව තීරණය කර ඇත. ගීතා තවමත් එහි ප්‍රතිකාර ලබයි.

ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන ගීතාගේ සුවදුක් බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ රෝහල වෙත පැමිණ ගොස් තිබුණි.