ජනපති තීරණේට එකඟයි - UNP යෙන් යන්නෑ - විජයදාස රාජපක්ෂ 

3.00pm Update
අද දින ජනපති මෛත්‍රිපාල සිරිසේන තමාව ඇමති ධූරයෙන් ඉවත් කිරීම ගැන ලබාදී තිබුණ ලිපිය පිළිගන්නා බවත් ඒ අනුව තමාට අදාළ ධූර දෙකින්ම ඉවත්වන බවත් විජයදාස රාජපක්ෂ මහතා විද්‍යුත් නාලිකා අමතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව දැනටමත් තමන්ගේ වාහන භාරදෙමින් පවතින බවත් කියා ඇති ඔහුගෙන් ඉදිරියේදී එජාපය හැරයනවාදැයි කළ විමසීමේදී තමන් එජාපය හැරයාමට අදහස් නොකරන බව දන්වා ඇත.
හම්බන්තොට වරාය බදුදීම ගැන සාමූහික වගකීම කඩකරමින් ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් ලබාදීමෙන් පසු එජාප රැස්වීමේදී එම ප්‍රකාශය තමන් නොකළ බව කී ඇමතිවරයාට එම ප්‍රකාශය නිවැරදි කර පුවත්පතට දන්වන්නැයි 21 වනදා සවස 6 වනතුරු කාලය ලබාදුන් නමුත් ඔහු එසේ කලේ නැත.ඒ අනුව යමින් කබීර් හෂීම් ලේකම්වරයා ඇමති විජයදාසට එරෙහි විහ්වාසය කඩ කිරීමේ ලිපිය ජනපතිවරයාට යොමු කළේය. එජාපයට අයිති ඇමති ධූරයක් එජාපය විසින් වෙනස් කරන ලෙස කරන ඉල්ලීමට ඒ අනුව ජනපතිවරයා ඇහුම් කන්දී අද ඔහුව ඉවත් කළේය.  

ලිපිය ලැබුණා - වාහන භාර දෙනවා - විජයදාසගේ කාර්යාලය දන්වයි 

1.30pm Update
එක්සත් ජාතික පක්ෂය විසින් විජයදාස රාජපක්ෂ මහතාව, සියළු අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට යොමුකළ ලිපියට ජනාධිපතිවරයා විසින් සිය අනුමැතිය ලබාදීමෙන් පසුව එයට අදාළ ලිපිය විජයදාස රාජපක්ෂ මහතාට ලැබුනු බව රාජපක්ෂ මහතාගේ නිලධාරියෙකු තහවුරු කර තිබේ. අධිකරණ හා බුද්ධශාසන කටයුතු අමාත්‍යාංශ දෙකෙන් ඉවත් කර ඇති බව අදාළ ලිපියේ සඳහන් වන බවත් තමන් මෙතෙක් භාවිත කළ සියළුම නිල රථ භාරදීමට ද ඇමතිවරයා පියවර ගත් බවත් එම නිලධාරියා සඳහන් කර ඇත.


විජේදාස ඇමති ධූරයෙන් ඉවත්කරන බව 
ජනපති නිවේදනය කරයි

12.30pm Update
අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා දරණ සියලු කැබිනට් අමාත්‍ය ධූරවලින් ඔහු ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය යොමුකළ ලිපිය සඳහා  ජනාධිපතිවරයා අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව ඒ පිළිබඳව ලිඛිතව විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇති බව
වාර්තා වෙයි.

පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා දිගින් දිගටම පක්ෂයේත් කැබිනට් මණ්ඩලයේත් සාමූහික වගකීම උල්ලංඝණය කර ඇති බවට චෝදනා එල්ල වුණි.
එමෙන්ම පසුගිය සති අන්තයේදී  විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පක්ෂයේ අමාත්‍යවරුන් සහ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සාමූහික වගකීම කඩ කරමින් කටයුතු කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (22) සඳහන් කළේය.
ඒ අනුව විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා දරණ සියලු කැබිනට් ධුරවලින් ඔහු ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.