පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද රථවාහන වැරැදිවලට අදාළ දඩ මුදල් සංශෝධනය කිරීම පිළිබඳ ගැසට් පත්‍රය නිකුත් කිරීම මේ මස අවසානය දක්වා කල් දමා ඇතැයි මාර්ගාරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කරයි.මේ දඩවලට අදාළ මෝටර් වාහන පනතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් පැහැදිලි කර ගත යුතු තැන් ඇති නිසා මේ ගැසට් පත්‍රය නිකුත් කිරීම
ප්‍රමාද කිරීමට සිදුව ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.උදාහරණයක් ලෙස රුපියල් 10,000ක දඩ නියම කෙරෙන "අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම" යන වරද පිළිබඳ විග්‍රහයක් නොමැති නිසා පොලිස් නිලධාරීන්ට තම අභිමතය පරිදි රියැදුරන්ට එරෙහිව චෝදනා එල්ල කිරීමට එම වගන්තිය යටතේ හැකියාව ලැබෙන බැවින් එවැනි අඩුපාඩු මඟහැරවීම මාර්ගාරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ අරමුණ බවත් සභාපතිවරයා සඳහන් කරයි.

එමෙන්ම රථවාහන වැරැදි සම්බන්ධයෙන් වූ දඩ මුදල් සංශෝධනය සඳහා පත්කළ කමිටුව නිර්දේශ කළ දඩ මුදල් විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු ඉල්ලීම් අනුව නැවත සංශෝධනය කිරීමට මාර්ගාරක්ෂාව පිළිබඳ ජාතික කමිටුව පියවර ගෙන තිබේ.
ඒ අනුව අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් වන වරදට වේගය සියයට 20 ඉක්මවීම රුපියල් 3000ක්ද සියයට 21 _ 30 රුපියල් 5000ක්ද, සියයට 31 _ 50 රුපියල් 10,000ක්ද සියයට 50 ඉක්මවූ විට රුපියල් 15,000ක්ද දඩ මුදල් නියම කර ඇත.

වමෙන් ඉස්සර කිරීම හා ජංගම දුරකතන භාවිත කරමින් රිය පැදවීමේ වරදට දඩ මුදල රුපියල් 2000ක්ද, වයස සම්පූර්ණ නොමැතිව රිය පැදවීමේ වරදට දඩ මුදල රුපියල් 30,000ක්ද, බීමත්ව, බලපත්‍ර රහිතව, අන්තරායකාරි ලෙස දුම්රිය මාර්ගයට වාහන ඇතුළු කිරීම, රක්ෂණ සහතිකය නොමැති වීම වරදවල් සඳහා රුපියල් 25,000ක උපරිම දඩයක්ද අය කෙරේ. අන්‍යයන්ට හිරිහැර වන අයුරින් රිය පැදවීමේ වරදට දඩය රුපියල් 10,000ක් වෙයි.

උපතිස්ස පෙරේරා