විභාග අයැදුම්කරුවන් ඉතා සූක්ෂ්ම අධි තාක්ෂණ ඉලෙක්ට්‍රොනික් උපාංග රැගෙනවිත් විභාග වංචා සිදු කිරීම වැළැක්වීම සඳහා පොලිසිය හෝ යුද හමුදාව යොදවා පරීක්ෂාකර විභාග ශාලා තුළට ඇතුළත් කිරීමට යයි.
අධි තාක්ෂණ උපකරණ භාවිතයෙන් විභාග වංචා සිදු කිරීම වැළැක්වීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පිණිස පත්කර ඇති විශේෂ කමිටුවට ඉහත යෝජනා ඇතුළු යෝජනා හතරක් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.


ඉලෙක්ට්‍රොනික උපාංග හඳුනාගැනීම සඳහා වන උපකරණ විභාග ශාලාධිපතිතුමාට ලබාදීම, ඉලෙක්ට්‍රොනික උපාංග හඳුනා ගත හැකි උපකරණයක් හරහා විභාග ශාලාවට ඇතුළු කිරීම සහ එවැනි උපාංගවලට ලැබෙන තරංග අවුල් (ජෑම්) කරන උපකරණ සෑම විභාග ශාලාවකටම ලබාදීම සෙසු යෝජනා තුනකි.
රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයෙහි ප්‍රශ්න දෙකක් සූක්ෂ්ම ඉලෙක්ට්‍රොනික උපාංගයකින් පිටතට යවා පිළිතුරු ගෙන්වා ගැනීමක් සිදුවීම නිසා අනාගතයේ සිදුවී විය හැකි වංචා වළක්වාගෙන විභාගවල රහස්‍ය හා ගුණාත්මක භාවය ආරක්ෂා කිරීමට පියවර ගතයුතු බවද විභාග කොමසාරිස් කීය.

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කිරීමේ සිද්ධියට අදාළ සිසුවා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලින් පසු ඔහුට ජීවිතාන්තය දක්වා විභාග දෙපාර්තමේන්තුවේ පරීක්ෂණවලට පෙනී සිටීමට නොහැකි වන පරිදි තහනමක් පැනවීමට සිදුවනු ඇතැයිද කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

දයා පෙරේරා