රවීට ඉල්ලා අස්වෙන්න ජනපති කියලා


 බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ලබාදුන් ආන්දෝලානාත්මක කටඋත්තර වලින් පසු විශාල විවේචනයන්ට බඳුන්ව සිටින විදේශ ඇමති රවී කරුණානායක හට ඊයේ (4) සිකුරාදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබෙන අතර දීර්ඝ වශයෙන් විශ්වාස භංගය ඇතුළු අනාගත දේශපාලන ක්‍රියාමාර්ග ගැන දැනුවත් කර ඇති ජනපතිවරයා මීට හොඳම විසඳුම රවී කරුණානායක මහතා ස්වකැමැත්තෙන්
ඉල්ලා අස්වීම
යැයි දන්වා ඇතැයි දේශපාලන ආරංචි පවසයි.
ඒකාබද්ධ විපක්ෂයට අමතරව මෛත්‍රී ජනපතිවරයා සමග සිටින එස්බී, දයාසිරි, අමරවීර ඇතුළු ඇමතිවරුන්ද දැනටමත් රවීට විරුද්ධව කතා කර තිබෙන පසුබිමක ඉදිරි විශ්වාසභංගයකදී මෛත්‍රී පිලද රවීට විරුද්ධවනු ඇතැයි ජනපතිවරයා දන්වා ඇත.
එල්ල වී ඇති චෝදනා හමුවේ රවී කරුණානායක මහතා තවදුරටත් කැබිනට් අමාත්‍යධුරයේ කටයුතු කිරීම ආණ්ඩුවට මෙන්ම රවී කරුණානායක මහතාට ද බරපතල ගැටළුවක් බවඒ අනුව ජනාධිපතිවරයා දැනුම් දී ඇත.
 ලබන සතියේදී ඇමැතිවරයා කැඳවා මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල හා අගමැති රනිල් තීරණය කර ඇති බවත් ජනාධිපතිවරයා ඊයේ සිකුරාදා (04) අගමැතිවරයාටද දුරකථන ඇමතුමක් දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
 කෙසේ නමුත් රවි කරුණානායක මහතාගෙන් ඩේලි මිරර් පුවත්පත ඊයේ මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ ජනපතිවරයා තමාට අස්වන ලෙස දැනුම් දුන් කතාව ප්‍රබන්ධාත්මක කටකතාවක් පමණක් බවයි.