විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගත හැකි බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
එසේම අදාළ විශ්වාසභංග යොජනාවේ නීති ප්‍රශ්න මතුව ඇතැයි ද කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
විදේශ අමාත්‍ය රවී කරුණානායක

මහතාට එරෙහිව කථානායකවරයා වෙත බාරදී ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සැළකිල්ලට ගැනීම සඳහා තවත් දින 08 ක පමණ කාලයක් ගතවනු ඇත.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීතිඥ නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ අමාත්‍යවරයෙකුට එරෙහිව මෙවැනි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ පසු පළමුව කථානායකවරයා විසින් එහි අනුකූලතාව පිළිබඳ තීරණය ලබා දීම කළ යුතු බවයි.

අනතුරුව එය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පරිවර්තනය කිරීම සිදු කෙරෙන බව ඔහු පෙන්වා දෙයි.

අදාළ විශ්වාසභංග යෝජනාව දින රහිත යෝජනාවක් ලෙස න්‍යාය පුස්තකයට ඇතුළත් කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීතිඥ නීල් ඉද්දවෙල මහතා පැවසුවේය.

එතැන් සිට දින 07 ක කාලයක් ගත වූ පසු පක්ෂ නායකයන් රැස් වී එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන කාල වකවානු තීරණය කෙරෙන බව සඳහන්ය.

 ඒ අනුව ලබන සභා වාරයේදී මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ඇති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කළේය.

 මේ අතර පක්ෂ නායක රැස්වීමක් මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙයි.

මෙම සතිය තුළ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට ලක් වන කාරණා සම්බන්ධයෙන් මෙහිදී අවධානය  යොමු කිරීමට නියමිතය.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ රවී කරුණානායක මහතාට එල්ල වී ඇති විශ්වාසභංග යෝජනාව පිලිබඳව අද දිනයේ රැස්වන පක්ෂ නායක රැස්වීමට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරෙත්තු වන බවයි.