පර්පෙචුවල් සම්බන්ධය නිසා
පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික අලෙවිකරණ
මාස 6 කට අත්හිටුවයි



පෑන් ඒෂියා බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ සිදුකරන ලද ගනුදෙනුවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද විමර්ශනයන් මත පදනම්ව
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, 2017 අගෝස්තු මස 14 වැනි දින
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය
විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී හි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් සිදු කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2017 අගෝස්තු මස 15 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා අත්හිටුවීමට තීරණය කර තිබේ.
කෙසේවෙතත් මෙම  නියාමන ක්‍රියාමාර්ගය හේතුවෙන් වාණිජ බැංකුවක් වශයෙන් පෑන් ඒෂියා බැංකුව විසින් සිදුකරනු ලබන බැංකු කටයුතු කෙරෙහි කිසිදු බලපෑමක් ඇතිවී නැත.
බැංකු පනතේ II වැනි උප ලේඛනයේ විධිවිධානයන්ට අනුකූලව පෑන් ඒෂියා බැංකුවට රජයේ සුරැකුම්පත් වෙ‍ළඳපළේ තවදුරටත් ගනුදෙනු සිදුකිරීමේ හැකියාව ඇත. එසේම රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි පෑන් ඒෂියා බැංකු ගනුදෙනුකරුවන්ගේ හා ප්‍රතිපාර්ශ්වයන්ගේ හිමිකම්වලට හානි නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිසි පරිදි ගනු ලැබේ.
මේ නියාමන ක්‍රියාමාර්ගය මඟින් රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසිවලට පෑන් ඒෂියා බැංකුවට සහභාගි වීමට ඇති හැකියාව අත්හිටුවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කරනු ලැබේ.