යාල ජාතික වනෝද්‍යානය තුළ පිහිටි සිතුල්පව්ව රජමහා විහාරය අසල ගැවසුණු නන්දිමිත්‍ර නමින් ප්‍රකටව සිටින ඇතා වෙඩි වැදීමකින් තුවාල ලබා...අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව උසස් වනජීවී නිලධාරියෙක්  ඊයේ
(30දා) පැවැසීය.


සිතුල්පව්ව රාජමහා විහාරයට පැමිණෙන වාහනවලට පහරදීම නිසා පසුගිය සමයේදී මෙම ඇතා ආන්දෝලනාත්මක පුවත් මවන්නකු බවට පත්වී තිබිණි. මේ වන විට නන්දිමිත්‍ර ඇතා විසින් සිතුල්පව්ව විහාරයට පැමිණි වාහන 150කට අධික සංඛ්‍යාවකට පහර දී ඇතැයි වාර්තා වේ.
මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ඇතා යන එන ගමන් මාර්ගය අනාවරණය කර ගැනීමට වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ නියෝගයෙන් නන්දිමිත්‍රට රේඩියෝ කරපටියක් පලඳවන ලද්දේ මීට මාස තුනකට පමණ ඉහතදීය.

ඒ අනුව ඇතා පසුගිය සතියේ යාල ජාතික වනෝද්‍යානයේ ගල්ගෙය ප්‍රදේශයේ ගැවසුණු බවට රේඩියෝ තරංග දත්ත මඟින් තහවුරු වී ඇති අතර එම ප්‍රදේශයේදී නන්දිමිත්‍රට මෙලෙස වෙඩි වැදී තුවාල ලබන්නට ඇතැයි වනජීවී නිලධාරීහු සඳහන් කරති.

තුවාල ලබා සිටින ඇතා සොයා ප්‍රතිකාර කිරීම සඳහා උෟව කලාපය භාර වනජීවී පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ඊයේ (30දා) යාල ජාතික වනෝද්‍යානයට පිටත්ව ගියහ.

සපුමල් ජයසේන