මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි ගෙවී ගිය වසරක කාලය තුළ නොකඩවා තරග සඳහා සහභාගි වීම හේතුවෙන් ඔහුට කෙටි විවේකයක් ලබාදීම කෙරෙහි ඉන්දීය
ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වී ඇතැයි "ද ඉන්දියන් එක්ස්ප්‍රස්" පුවත්පත ඊයේ වාර්තා කර සිටියේය.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ පැවැත්වීමට නියමිත එක්දින ජාත්‍යන්තර තරග 5ට සහ විස්සයි -20 තරගයට අදාළ තේරීම් කටයුතු සඳහා ඉන්දීය ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ඉදිරි දින දෙක තුළදී
රැස්වීමට නියමිත අතර එම තරගාවලියේදී විරාත් කෝලිට විවේකයක් ලබාදීමට තේරීම් කමිටුව තීරණයක් ගැනීමට ඉඩ ඇතැයිද පැවැසේ. එසේ වත්මන් ඉන්දීය නායකයාට කෙටි විවේකයක් ලබා දීමට තීරණය කළහොත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී හා විස්සයි-20 තරගයේදී ඉන්දීය පිලේ වැඩබලන නායකයා ලෙස රෝහිත් ෂර්මා පත්කරනු ඇතැයි එකී වාර්තා තවදුරටත් සඳහන් කරයි.

පසුගිය 2016 වසරේදී ඉන්දීය පිල සහභාගි වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිට පසුගියදා කොළඹදී නිමාවූ දෙරට අතර 2 වැනි ටෙස්ට් තරගය දක්වා ගත් කල ඉන්දියාව ආකෘති තුනෙන්ම ජාත්‍යන්තර තරග 43කට සහභාගි වී ඇති අතර ඉන් තරග 42කම විරාත් කෝලි ක්‍රීඩා කර ඇත. ඒ අතර කාලය තුළ ඔහු දෙවැනි වන්නේ ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස්ට පමණි. කුසල් තරග 46ක් ක්‍රීඩා කර ඇතත් ඊට ඇතුළත් ටෙස්ට් තරග සංඛ්‍යාව 13කි. එහෙත් කෝලි එම කාලය තුළ ටෙස්ට් තරග 18කට සහභාගි වී ඇත.

මේ අතර තරග තහනමකට ලක් කර ඇති ඉන්දීය පිලේ රවීන්ද්‍ර ජදේජා වෙනුවට වමත් දඟපන්දු යවන්නකු වන ඇක්සාර් පටෙල් පල්ලෙකැලේ පැවැත්වෙන 3 වැනි ටෙස්ට් තරගයේදී ඉන්දීය සංචිතයට කැඳවා ඇත. 23 හැවිරිදි තවමත් ටෙස්ට් වරම් ලබා නොමැති ඔහු අද හෝ හෙට පල්ලෙකැලේට පැමිණ කණ්ඩායම සමඟ සම්බන්ධ වීමට නියමිතය.

සටහන - සිරිනාම