කතරගම නිලමේ - කපු අර්බුදය නිසා
දොරේ යතුර හංගලා පූජාව මගහැරිලා


අද (22) උදෑසන කතරගම මහ දේවාලයේ උදෑසන දේව පූජාව මගහැරීම නිසා එහි උණුසුම් තත්වයක් හටගෙන තිබේ.බස්නායක නිලමේවරයා හා කපු මහතුන් අතර ඇතිවූ අර්බුදයක් නිසා ප්‍රධාන දේවාලයේ දොරේ යතුර භාර බස්නායක නිලමේවරයා එය අද උදේ ලබා නොදී කර ඇර තිබෙන අතර එ්හේතුවෙන් දේවාලයේ දොර දිගටම වැසී
තිබී උදෑසන පැමිණි දහස් ගණන් බැතිමතුන් අපහසුතාවයට ලක්ව ඇත.

කතරගම දේවාලයේ උදෑසන පූජාව සාමාන්‍යයෙන් අලුයම 4.30 ට ඇරඹෙන අතර ඒ වෙනුවෙන් දුරබැහැර සිට පැමිණෙන බෞද්ධ හා හින්දු බැතිමතුන් විශාල පිරිසක් නිදිමරාගෙන රාත්‍රී 2-3 සිට පමණ පෝලිම් ගැසී පූජාවන් සඳහා සූදානම්ව සිටී. එසේ දුෂ්කරතා විඳ පොලිමේ සිටිය අයට වෙන කිසිදු දිනක සිදු නොවූ ලෙස දේවාලයේ දොර දිගටම වසා තිබීම නිසා අපහසුතා පැනනැගී තිබේ.
කතරගම දේවාලයේ කපු මහතුන් පවසා ඇත්තේ බස්නායක නිලමේවරයා ප්‍රධාන දේවාලයේ යතුර ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති නිසා තමන්ට පූජාවන් ඇරඹිය නොහැකි බවකි.
බස්නායක නිලමේ ඩි.පි.කුමාරගේ මෙම ක්‍රියාව සිදු කර තිබේ.
බැතිමතුන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ  පසුව පොලීසිය, ප්‍රදේශවාසීන් සහ බැතිමතුන්ගේ මැදිහත්වීමෙන් බස්නායක නිලමේවරයාගෙන් යතුර ඉල්ලාගෙන කතරගම මහා දේවාලය පූජාවන් සඳහා යළි විවෘත කර තිබෙයි.බස්නායක නිලමේවරයා පොලිසියට පවසා ඇත්තේ තමා දොර අරින්න ආ නමුත් කපුවන් එය වැළකූ බවකි.