ඒකාබද්ධ විපක්ෂය බලය ලබා ගැනීමට හීන මැව්වද දෙදහස් විස්ස දක්වා ආණ්ඩුව වෙනස් කළ නොහැකි බව ධීවර අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එලෙස පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

ආණ්ඩු බලය ගන්නා බව කියන පිරිස 2017 ජනවාරි කිරිබත් කා ආණ්ඩුව ගන්නා බව කීවා.
පසුගිය සිංහල අවුරුද්දට කිරිබත් කන්නේ නව ආණ්ඩුවක් යටතේ බව කීවා. නුවර සිට කොළඹට පා ගමනින් පැමිණ පාගමනින් පසු ආණ්ඩුව පෙරළනවා කීවා. ඒ සියල්ල අමූලික බොරු. මේ රටේ 2020 වනතෙක් මැතිවරණයක් තියන්න බෑ. මේ ආණ්ඩුව හෝ තනතුරුවල වෙනසක් කරනවා නම් කරන්න පුළුවන් එකම කෙනා ජනාධිපතිතුමා විතරයි.

මේ වනවිට කවුරුත් ඔඩොක්කු අල්ලාගෙන සිටිනවා. කවුරු කොයි මොහොතේ කාගේ ඔඩොක්කුවට වැටේදැයි දන්නේ නෑ. හොරු ආරක්ෂා කරන්න කිසිසේත් ක්‍රියාකරන්නේ නෑ. අපි ඒක ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙනවා. මේ ආණ්ඩුවේ වුවත් හොරකමක් කළා කියා නම්වෙලා තිබෙනවා නම් පොඩි හරි සඳහනක් හරි තිබෙනවා නම් අපි ඒ ගැන ක්‍රියාකරනවා. ගිය ආණ්ඩුව හෝ වේවා මේ ආණ්ඩුව හෝ වේවා හොරකමට එරෙහිව ක්‍රියාකරන්න ජනාධිපතිතුමා පැහැදිලිව ක්‍රියාකර තිබෙනවා.
මෙවරත් අපි ඉහළ ජන සහභාගිත්වයකින් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයක් පවත්වනවා. අපි මීට පෙරත් එය කර පෙන්නුවා. විශාල ජන සහභාගිත්වයකින් යුතු මැයි රැලි පැවැත්වූවා. මෙවරත් ඒ ආකාරයෙන්ම සාර්ථක සංවත්සරයක් පවත්වනවා. ඒ සඳහා ආරාධනා පත් ලේකම්තුමා විසින් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට යොමුකර තිබෙනවා.

මාතර සිට කතරගම දක්වා දීර්ඝ කරන දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත දක්වා ඉදිකෙරෙන කොටසේ යම් ප්‍රශ්න ගැටලු කීපයක් තිබුණත් නිමල් සිරිපාල ඇමැතිතුමා ආවට පසු ඒ ප්‍රශ්න ගැටලු ලිහාගෙන ඉදිරියට යන වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කර තිබෙනවා. මම අද මේ විධියට ආවෙත් එහි එක් පියවරක් ලෙස. අපි අද බෙලිඅත්තේ සිට මාතර දක්වා ස්ථාන කීපයක් නිරීක්ෂණයට ලක්කළා. එහිදී ඇතිවී තිබූ ගැටලු කීපයකටත් විසඳුම් දෙන්න ක්‍රියා කළා. දැන් එහි වැඩකටයුතු සාර්ථකව කරගෙන යනවා. ලබන වසරේ මැද භාගය වන විට අපිට බෙලිඅත්තේ සිට මාතරටත්, කොළඹ යන්න අවස්ථාව ලැබෙනවා.

අනවබෝධයෙන් කටයුතු කිරීම හා මත ගැටුම් නිසා මෙහි නිලධාරීන් කීප දෙනකු ඉවත්ව ගොස් තිබෙනවා. දෙපාර්ශ්වයේම අඩුපාඩු තිබෙන බව අප හඳුනාගෙන තිබෙනවා. අපි එය පිළිගත යුතුයි. දැන් අපිට ඕනෑ ඒ අඩුපාඩු නිවැරැදි කරගෙන ඉස්සරහට යන්න. ඉදිකිරීම්වල ප්‍රමිතිය සම්බන්ධ ගැටලු නෑ. යම් යම් ප්‍රශ්න ඇතිවූ තැන් තිබෙනවා. මටත් ඒවා වාර්තා වුණා. දැන් ඒවා නිවැරැදි කර තිබෙනවා. මේක උමා ඔය වගේ අසාර්ථක ව්‍යාපෘතියක් වෙන්නේ නෑ.

ගන්දර - නිලූකා හේරත්