තම බිරියගේ නිරුවත් ඡායාරූප මස්සිනාගේ දුරකතනයට හා මුහුණු පොතට යැවූ සැමියකු බුත්තල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වැනිදා දක්වා
රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැල්ලවාය මහෙස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා නියෝග කළේය.
බුත්තල ප්‍රදේශයේ කුලියට පදිංචි වී සිටි බත් පැකට් විකුණන පුද්ගලයකු මෙසේ තම බිරියගේ ඡායාරූප ඇයගේ ජංගම දුරකතනයෙන් ලබා ගෙන පසුව ඒවා තම දුරකතනයට ඇතුළු කරගෙන ඇති අතර
ඒවා ඔහුගේ මුහුණ පොතේ සිටින මිතුරන් අතරට යවා ඇතැයි ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ ඡායාරූප තම බිරියගේ අක්කාගේ සැමියාගේ දුරකතනයටද යවා ඇති අතර ඔහු විසින් ඒවා බිරියට පෙන්වා තිබේ. ඒ අනුව ඇය නංගිට කතා කර මස්සිනා එවූ ඡායාරූප සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් මොනරාගල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට ඇය විසින් සිදු කර ඇති අතර ඒ අනුව මේ පුද්ගලයා බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. සැමියාගේ හා මස්සිනාගේ ජංගම දුරකතනවල තිබූ අසභ්‍ය ඡායාරූප සියල්ල පොලිස් භාරයට ගෙන විනාශ කර දමා ඇති අතර දුරකතන තුන ඔවුන්ට ආපසු භාර දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ නියෝගයෙන් සහකාර පොලිස් අධිකාරි ඩී.එම්. තිලකරත්න මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා උප පොලිස් පරීක්ෂක ආර්.එම්. සෝමලතා බුත්තල පොලිස් ස්ථානයේ කාන්තා උප පොලිස් පරීක්ෂිකා ඉමල්කා, කාන්තා පොලිස් කොස්තාපල් ගයානි (8270) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

වැල්ලවාය - ජී.අයි. රොෂාන්